Sunday, February 9, 2014

කාටවත්ම නොකී මගේ ප්‍රේම වෘත්තාන්තය

එක අතකට මේක කිසිම තේරුමක් නැති දෙයක් කියලත් හිතෙනවා. කෙනෙක්ගෙ අතිශයින් පෞද්ගලික ජීවිතේ දේවල් තව කෙනෙකුට හෙළි කරන එක. 
ඇත්තටම මේක කියවන කෙනෙකුට ගන්න කිසිම දෙයක් නෑ. නමුත් පුරා අවුරුදු 5ක් මම මේක හිතේ තදකරගෙන හිටියා. මාව හොඳින්ම තේරුම් ගෙන සිටිනවා යයි මා විශ්වාස කරන හිතවත්ම මිතුරු මිතුරියන්වත් මේ කතාව මෙච්චර විස්තරාත්මකව අදවන තුරුම දැනගෙන හිටියෙ නෑ. 
එහෙනම් ඇයි මම මේ දේවල් හිටිහැටියෙම වමාරන්නෙ? මටත් හිතාගන්න බෑ ඇත්තම හේතුව. 
ආසන්නතම හේතුව මේකයි. අවසානයක්, පරක් තෙරක් පේනතෙක් මානයකවත් නොපෙනෙන මේක මට දැන් ඇති වෙලා. කාට හරි කියලා දාලා හිත සැහැල්ලු කරගන්නයි අවශ්‍ය. 
මගේ පෞද්ගලික ආත්මාර්ථකාමී අරමුණ වෙනුවෙන් ඔබේ වටිනා කාලය කා දැමීම ගැන දහස් වාරයක් මට සමාවන්න.

මේක ඒක-පාර්ශවික ප්‍රේම කතාවක්. මේ දක්වා කතාව අහපු හැමෝම කිවුවෙ එහෙමයි.

එක-පාර්ශවික ප්‍රේමය, දෙදෙනාගේම එකඟතාවය ඇතුව දළුළා වැඩුණු, ගලා යන, බිඳුණු ප්‍රේමය තරම් උත්තරීතර දෙයක් නොවන බවයි, මට ඒ හැමෝම කිවුවේ. මේක සමාජ සම්මතයක් තරමටම මිනිස්සුන්ගේ හදවත් තුළ පැලපදියම් වී තිබෙන බව දකින්නට ලැබෙනවා. අවසානය කුමක් වුවත්, සම්මත හෝ අසම්මත ප්‍රේම කතා වලින් 99% කටත් වඩා දිවෙන්නේ එම, ඒ කියන්නේ දෙදෙනාගේම කැමැත්ත මත ඇතිවූ ඒවා.
දශක තුනක ජීවිතයේ මා නරඹූ දේශීය-විදේශීය නිර්මාණ දහස් ගණනක් අතුරින් ඒක-පාර්ශවික ප්‍රේමයට තැනක් දීපු නිර්මාණක් මම දුටුවේ එකම එකයි. ඒ ගුණදාස කපුගේ ගායනා කරන 'උන්මාද සිතුවම්' ගීතය ඇතුළත් 'එක් ටැම් ගේ' සිනමා සිත්තම. මේ සටහන තබන්නට එයින් ලැබුණු ධෛර්‍යය අප්‍රමාණ බව කිවයුතුයි.

මගේ ජීවිතයේ මම තරුණියන් 3 දෙනෙකුට ආදරය කර තිබෙනවා. කියන්න කණගාටුයි එයින් පළමු 2ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක පාර්ශවික ඒවා. ඒ කියන්නේ ඒවාට අනිත් පාර්ශවයෙන් අංශු මාත්‍ර හෝ දිරිගැන්වීමක් ලැබුණේ නැති බව අවංකවම කියන්න ඕනා.
ඉන් පළමු එක ඇතිවූයේ මීට වසර 11කට පෙර, මා උසස් පෙළ හදාරණ කාලයේ. මා සහභාගී වූ රසායන විද්‍යාව කුඩා කණ්ඩායම් පන්තියකට පැමිණි අසල්වාසී සමවයස් තරුණියක් කෙරෙහි. අවුරුදු 3ක් විතර මම බලාපොරොත්තු තියාගෙන හිටියත් ඇය දැඩිව මාව ප්‍රතික්ශේප කළ නිසා සරසවියේ පළමු වසරේ මගේ කණ්ඩායම් ව්‍යාපෘතියක හිටපු කෙනෙකුට මා අවධානය යොමු කළා. මාස කිහිපයක් ඇවෑමෙන් කල් යල් බලලා මා මගේ අදහස ප්‍රකාශ කරන්නට ඔන්න මෙන්න තිබියදී මගේ මිතුරකු ඇයට ඇගේ ගම් පළාතේ පෙම්වතකු සිටින බව සොයාගත්තා. ඉතින් හිත හදාගන්නට සිද්ධ වුණා.

ගොඩක් දෙනෙකුට බොක්කටම වදින්නේ ප්‍රථම ප්‍රේමය බව පැවසෙතත් මා සම්බන්ධයෙන්නම් එය සම්පූර්ණයෙන්ම වෙනස්. හේතුව වඩාත් හොඳ අවබෝධයෙන් යුතුව, වඩාත්ම ගැඹුරින්, අධ්‍යාත්මිකව මම පෙම් කළේ තුන්වන සහ අවසන් වතාවට.

පළමු වසර අවසානයේ විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරපු ක්ෂේත්‍ර චාරිකාවකදී තමයි අපි එකිනෙකාට සමීප වුණේ. 
මගේ දෙවන උත්සාහයක් අසාර්ථක වූ නිසා මා සිටියේ තරමක කළකිරීමෙන්. නමුත් ඒ ගමනේදී ඒ වනවිට එකම බෝට්ටුවේ සිටි ඇයව හඳුනාගන්නට ලැබුණා. එකම බෝට්ටුවේ කිවුවේ ඒ වන විට ඇයත් ඇගේ ආදරය බිඳිලා වේදනාවෙන් හිටියේ.

අවුරුදු 2 1/2ක්ම අපේ හිතවත්කම (අවසානයේ ඇය එය හැඳින්වූයේ එහෙමයි.) ගලාගෙන ගියා. 
මට ඕනෑ වුණේ ඇගේ ආදරය ස්ථිරවම දිනාගන්නා තුරු කිසිවෙකුටත්ම ඒ ගැන දැනගන්නට ඉඩ නොතැබීම. කොටින්ම මගේ හිතවත්ම මිතුරන්, මිතුරියන්වත් ඒ ගැන හාංකවිස්සියක්වත් දැනගෙන හිටියේ නෑ. ඉන් සමහරු අදවනතුරුත් මේ ගැන දන්නෙ නෑ.

ඇත්ත. ඇය මට කවදාවත්ම 'මම ඔයාට ආදරෙයි' කියා නෑ. අහන අහන කෙනා එය හුදෙක් මගේ හිතළුවක් යයි නිගමනයට එන්නට ඒක පාවිච්චි කරනවා. සමහරවිට ඇත්ත වෙන්න ඇති.

ඒත් ඒ අවුරු දෙකහමාරට අපි අතරේ ඇතිවුණු දුරකතන සංවාද, කෙටි පණිවුඩ, 'මිස්ඩ් කෝල්ස්' (මීට අවුරුදු 7 1/2 කට කළින් ඔය ෆේස්බුක් වගේ සමාජ වෙබ් අඩවි ජනප්‍රිය වෙලා තිබුණෙ නෑ. 'මිස්ඩ් කෝල්' තමයි හුඟක් ජනප්‍රිය වෙලා තිබුණෙ.)
සමහර දවස්වල මගේ ජංගම දුරකථයට ඇයගෙන් ලැබුණු 'මිස්ඩ් කෝල්ස්' ගණන දුසිම් ගණනක්. කෙටි පණිවුඩ(එස්.එම්.එස්.)ත් එහෙමයි.
ඒ කිසිම එකක 'ආදරය' කියන වචනය තිබුණේ නැති බව ඇත්තයි. නමුත් මේ හැම එකකම සාමාන්‍ය මිත්‍රත්වයට එහා ගිය දැඩි ලෙන්ගතුකමක් තිබුණු බවයි මට හැඟී ගියේ.

ඇයත් මා මෙන්ම ඉතාම සංවේදී හදවතක් තිබුණු කෙනෙක්. ඉතාම සුළු දේටත් මහා ලොකුවට සිත රිදවා ගන්නා කෙනෙක්. මේ අවුරුදු දෙක හමාරට එවැනි සිදුවීම් දුසිම් ගණනක් ඇය මට පවසා තිබෙනවා. සමහර දවස්වල රාත්‍රියට අපි පැය ගණන් හැඟීම්බර කතාවල යෙදුණා. කෙළින්ම ආදරය යන මාතෘකාවට නොබැස්සත් අපි කතා කළේ ඊට ගොඩක් සම්බන්ධ දේවල් ගැන. ජීවිතය ගැන, සමහර දේවල්වල නිස්සාරත්වය ගැන එකිනෙකා හිතන පතන විදිය ආදියයි. එතැනදී මට හැඟී ගිය දෙයක් තමයි, මේ තරම් මම සිතන පතන විදියට අනුකූලතාවයක් දක්වන වෙනත් සිතක් දරන්නෙක් මේ ලෝකේ සිටීම හරිම පුදුම සහගතයි කියන කාරණය. අපි අතරේ ඒ තරම් ගැලපීමක් තිබුණා. 

ඇයට මා ගැන හැඟුණේ හුදෙක් සාමාන්‍ය මිත්‍රයෙක් ගැන දැණුන විදියටයි කියා මට තවමත් සිතෙන්නේ නෑ. එය එහෙම වූයේ කෙසේදැයි වචනයෙන් විස්තර කරන්නට බැහැ.

ඒ අවුරුදු 2 1/2 තුළදීම මම ඇයට මගේ ආදරය ප්‍රකාශ කරන්නට සුදුසු අවස්ථාවක් එනතුරු කල්මරමින් සිටියේ. නමුත් විස්තර කරන්නට තේරෙන්නේ නැති හේතුවකට මා එය දවසින් දවස කල් දැමුවා. එය එයට වඩාත්ම සුදුසු වේලාව නොවේයයි මගේ සිත කියූ නිසයි. අනවශ්‍ය ලෙස කළබල වීමෙන් ආදරය පමණක් නොව, ජීවිතයේ හමුවූ වඩාත්ම මා තේරුම් ගත්, අවිහිංසක, සංවේදී, හැඟුම්බර, චාම්, සරල, අවංක යන ගුණවලින් පරිපූර්ණ වූ තැනැත්තියගේ මා කෙරෙහි අවධානය, සැබෑම ලෙන්ගතුකම, ඇසුර පවා අහිමි වී යා හැකි බව මට හැඟී ගියා.

මේ අතරේ ඇගේ යම් සියුම් වෙනසක් මා නිරීක්ෂණය කළා. වෙනදාට වඩා කල්පනාවේ නිමග්න වෙමිනුයි ඇය කාලය ගත කළේ. යම් කෙනෙකුට දුරකථනයෙන් අමතන්නට ඇය උත්සාහ දරණ බවත්, අනිත් කෙළවරෙන් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන නිසා යම් තැවුලකින් ඇය සිටින බවයි මට හැඟුනේ. නමුත් ඇගේ නිහඬ බව ප්‍රශ්න කරන්නට මා බිය වුණා. මේ වනවිටත් මට එසේ කිරීමට අයිතියක් තිබුණේ නෑ.
අන්තිමේදී මගේ ප්‍රාණ සමාන යෙහෙළියක් මඟින් මා පිළිබඳව ඇගේ අදහස කුමන ආකාරයක එකක් දැයි දැනගැනීමට මා තීරණය කළා.
මා යෙදවූ යෙහෙළිය ඉතා විශ්වාසවන්ත වුවත්, ඇය කී කතාව මට පිළිගන්නට අපහසු වුණා.

"එයා හොඳ යාලුවෙක් තමයි. ගතිගුණත් ගොඩක්ම හොඳයි. නමුත් එයා වගේ කෙනෙක් බඳින්න නම් මම කැමති නෑ."
එයට හේතුවත් මගේ මිතුරිය උපක්‍රමශීලීව අසාගන්නට සමත් වූ තිබුණා. එයත් විශ්වාස කරන්නට අපහසුයි.
ඇය පවසා ඇත්තේ මෙවැන්නක්:
ඇයට අවශ්‍යයිලු සරසවියෙන් පිටවූ වහාම විවාහ වීමට. ඇය විවාහ කරගන්නා තැනැත්තාට තමන්ගේම කියා නිවසක්, වාහනයක් තිබිය යුතුයිලු.

ඇය වගේ සරල, චාම් (ඇත්තටම මම ඇයට කැමති වන්නට ප්‍රධානම හේතු එකී කී ගුණාංගයි.) භෞතික දේවල් වලට වඩා අධ්‍යාත්මික දේවල් අගය කරන කෙනෙක් හදවතට එකඟව ඒ විදියට කතා කරන්නේ කොහොමද කියා මට සිතාගන්නවත් බැරි වුණා.

මොකද්ද මේ කතාවේ තේරුම කියා මා දින ගණනක් කල්පනා කළා. සමහරවිට ඇය කියපු කාරණය ඇත්ත වන්නට පුළුවන්. හැඟීමවලට ඉඩනොදී යථාර්ථයට මුහුණදෙන්නට ඇය ඉටාගන්න ඇති.

නමුත් මා පරාජය බාරගන්නට කැමති වූයේ නෑ. විශේෂයෙන්ම ඇය වගේ අය අද කාලේ හොයන්න හරිම අමාරුයි.

ඉතින් මම තීරණය කළා ඇයට අවශ්‍ය සුදුසුකම් හදා ගැනීමට.
ඒ වනවිට මම සිහින මවමින් සිටියේ උපාධියේ ප්‍රථම පන්ති සාමර්ථයක් ලබා ආචාර්ය මණ්ඩලයට බැඳීමට. එය මා පමණක් නොවේ, ඇය ඇතුළු මුළු විශ්වවිද්‍යාලයම දැන සිටියා. මගේ ඒ ගැන කිසිවෙකුට අබමල් රේණුවකවත් අවිස්වාසක් තිබුණේ නෑ.  
නමුත් ඇය වෙනුවෙන් අවශ්‍යනම් එය පවා අත් හරින්නට මා තීරණය කළා. (මීට වසර 5-6කට පෙර විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුට ලැබුණේ ඉතාම සොච්චම් වැටුපක්.)
උපාධිය ලැබූ පසු ආචාර්ය මණ්ඩලයට නොබැඳී ඉංජිනේරුවකු ලෙස පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වී, එයින් ලැබෙන ඉහළ වැටුපෙන් සාපේක්ෂව කෙටි කාලයක් තුළ නිවස හා වාහනය යන අරමුණු වලට ලඟා විය හැකි බව මට පෙනී ගියා.
මේ අනුව, ඒ කැපකිරීම කිරීමට මා සම්පූර්ණ සූදානමින් සිටියා. ඒ අරමුණු ඉටුකරගන්නා තෙක්, තවදුරටත් අපේ සමීප සම්බන්ධතාවය පෙර පරිදිම ඉදිරියට ගෙන යාමටයි මා බලාපොරොත්තු වූයේ.
මේ වනවිට උපාධියේ තුන් වන වසර අවසාන භාගයයි ගතවෙමින් තිබුණේ. ඒ වනවිටත් එකිනෙකාගේ සුවදුක් විමසන කෙටි පණිවුඩ හුවමාරු වෙමින් තිබුණා.

ඒ අතරේ මගේ මිත්‍රයෙක් ගෙනා ආරංචිය නම් මට සුභදායක එකක් වුණේ නෑ. එයින් කියැවුණේ ඇය ඇගේ ගම් පළාත වන මීරිගම ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක නාවික ඉංජිනේරු විද්‍යාව හදාරණ තරුණයෙගෙන් ආදරය අයදින බව.

එක්තරා දිනෙක මම දුටුවා ඇගේ යම් කැපී පෙනෙන වෙනසක්.  ඇය වෙනදාට වඩා බොහෝ සතුටින් සිටින බවයි මා දුටුවේ. ඇගේ ජංගම දුරකථනයටත් කිසිම නිවනක් තිබුණු පාටක් පෙනෙන්නට තිබුණේ නෑ.
මා අනුමාන කළ දේ නිවැරදි වී තිබුණා. ඔහු ඇගේ ආදරය පිළිගෙන තිබුණා.

ලෝකයට හොරෙන් ආලය කිරීමේ බරපතලකම මට තේරුණේ එදායි. අපි අතර සිදුවූ කිසිම දෙයක් අප දෙදෙනා හැර අන් කිසිවෙකු දැන සිටියේ නෑ.

එය මට දැඩි කම්පනයක් ඇති කරන්නට සමත් වුවත් හිතේ හැටියට ශෝක වන්නට හැකි වාතාවරණයක් එහි තිබුණේ නෑ. ප්‍රසිද්ධියේ හිතේ අමාරුව පිට කරන්නට යාමෙන් මා උන්මත්තකයෙකු හා කුහකයෙක් යයි මිතුරන් අතරේ ආකල්පයක් ඇති වනවාට මා බිය වුණා.

එදින මා දැඩි තීරණයක් ගත්තා. ඒ දෙබිඩි ජීවිතයක් ගතකරන්නටයි. එනම් ලෝකයට පෙනෙන්නට ඉතාම සාමාන්‍ය ජීවිතයක් ගතකරන අතර දුක, ශෝකය හුදකලාවම විඳ දරාගන්නට. වෙනත් වචනවලින් කියනවා නම් සැහැල්ලු විනෝදකාමී ජීවිතයක් ගතකරන බව මවාපාමින් රහස් ශෝකභරිත ජීවිතයක් ගෙවන්නට.

මගේ එම තීරණය වහාම ක්‍රියාවේ යෙදුණා.  
ඒ අනුව දිවාකාලයේ සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකළ මා, දේශන නිම වී පැමිණ කාමරයට වැදී දොර වසා විදුලි පහන නිමා දමා, යහනේ වැතිරී පැය ගණනක් හිතේ හැටියට ශෝක වන්නට මා පුරුදු වූවා.
(කෘෂි විද්‍යා සිසුවෙකු වූ මගේ කාමර සඟයා, හිස් ඇඳක් තිබූ වෙනත් කෘෂි විද්‍යා සිසුවෙකුගේ කාමරයේ ලැගුම් ගන්නට යාම එයට විශාල පහසුවක් වුණා.)
මටත් නොදැනීම ආහාර රුචිය කෙමෙන් කෙමෙන් මගෙන් ඉවත් වී ගියා. තරමක් තරබාරු සිරුරක් තිබූ මගේ ශරීරය ක්‍රමයෙන් කෘශ වී යන්නට පටන් ගත්තා.
ශරීරය දුර්වල වීම හේතුවෙන් මා නිතර රෝගාතුර වන්නට පටන් ගත්තා. රෝගවලට ප්‍රතිකාර ගන්නා බව ඇඟෙවුවත් ඇත්තටම එවැන්නක් සිදු වුනේ නෑ. 'ඕනේනම් ඉබේම සුව වී ගියාවේ. නැත්නම් වෙන ඕනම දෙයක් වුනාවේ' යන ස්ථාවරයක මා සිටියා.

මාස 7කට පමණ මේ විදියට ගෙවී ගියා.....

එකදිගට මාසයක් විතර උණ, ශරීරය අප්‍රාණික බව තිබුණා. හරිහැටි ප්‍රතිකාරයක් ගැනීමට මට වුවමනාවක් ඇති වූයේ නෑ. කෑම අරුචිය උත්සන්නම වුණා. ජීවිතය යන්තම් ගැටගසා ගත්තේ බිස්කට් කිහිපයක් සහ ප්‍රධාන වශයෙන්ම ග්ලූකෝස් වලින් සහ ෆාමසියකින් මිළදී ගත් 'ජීවනී' නම් පානයකින්.
දිනක් මේ මෙහි උච්චයට ළඟා වුණා. සිහිසුන්ව ඇදවැටුණු මා රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

වෛද්‍ය පරීක්ෂණවලින් හෙළි වූයේ මගේ රුධිරගත ග්ලූකෝස් මට්ට්ම ඇදහිය නොහැකි තරම් ඉහළ මට්ට්මක පවතින බවයි. සංඛ්‍යාත්මක වශයෙන් එය 667ක් වූවා. එවැනි ඉහළ අගයක් ඔවුන්ගේ ජීවිතයේ කිසි දිනෙක වාර්තා වී නොමැති බව වෛද්‍යවරු ප්‍රකාශ කළා. එහි ප්‍රතිඵලයක් ලෙසට මා තාවකාලික අර්ධ අන්ධභාවයට පත්වූවා.
වැඩිදුර පරීක්ෂණ වාර්තා මගින් වෛද්‍යවරු මවිතයට පත්වුණා. එනම් මට වැලඳී තිබුණේ අකලට වැළඳෙන දියවැඩියා ප්‍රභේදය (Type I/Insulin dependent) නොව, වයස්ගත පිරිසි අතර බහුල Type II/Insulin independent නම් ප්‍රභේදයයි.
ජානමය හේතු නිසා තවත් වසර ගණනාවකින් මතුවන්නට තිබූ ප්‍රවේණික රෝගයක්, අධික මානසික අසංතුළිත භාවය නිසා කල්තියා අත්විඳින්නට සිදු වූ බවයි විශේෂඥ වෛද්‍ය මතය වූයේ.

මා නේවාසිකව ප්‍රතිකාර ලැබූ සති 3 තුළ තුළ මා බලන්නට පැමිණි ලබැඳියන් අතර සෑම දිනකම මම ඇගේ දෑස බලාපොරොත්තු වුවත් කවදාවත් එය ඉටුවූයේ නෑ. 

මා මුළින් කී මගේ දෙබිඩි ජීවිතය, වසර 5කට පසුවත් අදටත් නොවෙනස්ව පවත්වාගෙන යනවා. ඉන් මිදෙන්නට මට කවදා හැකියාවක් ලැබේදැයි සිතාගන්නටත් අමාරුයි.

33 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් ,,, යාලුවා ඔහොමයි ඔයාගේ ජිවිත කෑල්ල .. සතුටින් ඉදින්

    ReplyDelete
  2. මේ ඇත්ත කතාවක්ද? ඔබේ ඇස් දැන් සුවයිද? හරිම කණගාටුයි ඔබට උණු දේ ගැන.
    මමත් ඔය විදිහෙම හිතවතියක් වෙනුවෙන් හට ගත්ත ඒක පාර්ශවික පෙමක් හින්ද අවුරුදු ගානක් හිතින් තැවුනා. මගේ ආදරේ දැනගත්තු ඇයත් නොහිතන විදිහට මගෙන් ඈත් උනා. එත් ඔබේ කතාවේ මෙන් අවසානය ඛේදවාචකයක් නොවී විශ්වවිද්‍යාලයෙන් පිටවී යන දවසේ ඇය මට කැමැත්ත ප්‍රකාශ කලා.

    ReplyDelete
  3. මේක ගැන පුදුම වෙන්න දෙයක් නෑ. මෙහේම අය තවත් ඕනේ තරම් ඉන්නවා. මානසික ආතතිය මගින් දියවැඩියාව විතරක් නෙමෙයි ශරීරයේ බරත් වැඩිවෙන අය බොහෝයි. ඒක අතකින් ඔබට සතුටුවෙන්න පුළුවන් ඒ දෙබීදි පිළිවෙත තවදුරටත් එහෙම නොවෙන එක ගැන. ලියන එකෙන් ඒක තව දුරටත් රහසක් වෙන්නෙ නෑ නේ. එහෙම කරන්න බැරි අයත් ඉන්නවානේ.

    ReplyDelete
  4. http://www.youtube.com/watch?v=c1K0E6r58vA

    අහන්න

    ReplyDelete
  5. අයියේ ඔය දේවල් කාට හරි කියලා හිත නිදහස් කර ගන්න එක හොදයි විදවනවට වඩා......නිරෝගි නිදුක් දිවියකට සුබ පැතුම්!

    ReplyDelete
  6. is this true story?....කෙල්ලෙක් තේරුම් ගන්න කවදාවත් උත්සහ කරන්න එපා.ආදරය කරන්න.

    ReplyDelete
  7. මචං, මාත් ඔහොම තමයි කෙල්ලෙක් ගැන හිතුනාම නෙමෙයි කෙල්ලත් එක්ක යලු උනාට පස්සෙ පවා ඒක අහම්බයකින් දැනගන්නකන් මිසක් කාටවත් කියන්නෙ නෑ , ඒ එවාගෙ වටිනාකම / සුන්දරත්වය තියෙන්නෙ එවා හොරෙන් කරන තරමට කියලා මට හිතෙන නිසා, උබ ගැන දුක් වෙන්න දෙයක් නෑ මොකද ඔයිට වඩා දෙවල් අහිමි වෙනවා මිනිස්සුන්ට , මෙ ලෝකෙ හැම මිනිහටම වගෙ, මට පුදුමෙ මචං සමහර මිනිස්සු බලාපොරොත්තු කඩ උනාම බොහොම මානසිකව වැටෙනවා, ඇයි මිනිස්සුන්ට හිත පාලනය කරගන්න බැරි, ඇයි කොච්චර මොලයක් තිබ්බත් මොලෙයි හිතයි සම්බන්ද වෙන්නෙ නැත්තෙ, මචං මිනිස්සුන්ට දෙයක් නැතිවෙන්නෙ ආපහු හම්බ වෙන්න, එක මතක තියාගනින් . උබට ජය වෙවා බං

    මලින්ද

    ReplyDelete
  8. මේකගේ බොරද කොහෙද

    ReplyDelete
  9. මටත් ඔහොම්මම සිද්ධියක් තියනවා. තාම දන්නේ මගේ හොඳම යාලුවෝ විතරයි. හැබැයි දන්නේ හොඳම යාලුවෝ ටික විතරයි. ප්‍රශ්නයක් නෑ මම නම් විඳගෙන ඉන්නවා. ඔය තරම් අන්තගාමි විදිහට මගෙන්ම පලි ගන්න හිතන්නේ නෑ

    ReplyDelete
  10. මගේ යාලුවෙක් ඉන්නවා, මිනිහ කෙල්ලෝ 11දෙනෙක්ගෙන් අහලා එකෙක්වත් කැමති උනේ නෑ . මිනිහටම කෙල්ලෝ එපා වෙලා මිනිහ දැන් කෙල්ලෝ ගැන හිතන් නෑ . හැබැයි උඹ වගේ කෙලවගෙන නෑ . අගේට ඉන්නවා. මිනිහත් උඹ වගේ හිතුවනම් මිනිහට වද විඳලා මැරෙන විදිහ වෙනමම ප්ලෑන් කරන්න වෙනවා.
    මේ ටික කිව්වේ කින්ඩියට නෙමෙයි යාළුවා... අපි හැමෝම එකිනෙකාට වෙනස්, සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස්..
    ඒත් හැම වෙලාවේම හැම මනුස්සකම සතුටින් ඉන්නේ නෑ වගේම දුක් වෙවී ඉන්න ඕනෙත් නෑ නේ. දැන් ඔය ඇති.. උඹ වටින මිනිහෙක්නේ බං , වෙනස් වෙන්න ට්‍රයි 1ක් දියන්. උදව්වක් ඕන නං කියහන් , හැමෝම එක වගේ නෙමෙයි.

    ReplyDelete
  11. සීතල වතුරට එකසැරෙම පනින එකා දිනුම්. ඌ නානව හිතේහැටියට. චුට්ට චුට්ට බහින කෙනාට සීතල වැඩියි.

    ReplyDelete
  12. හැම එකාගෙම ප්‍රථම ආදරය ඒක පාර්ශික එකක් කියල මම තරයේ කියා සිටිනවා...

    ReplyDelete
  13. මේක ඇත්තම කතාවක්ද? මගේ පළවෙනි ආදරේ ගැනත් මම බ්ලොග් එකේ ඕන තරම් ලියලා තියෙනවා..

    ReplyDelete
  14. අයියෝ හද සසල කරන කතාවක් :( :( :(

    මම නම් එහෙම නොවී ජීවිතේ ආයෙමත් අලුතින් පටන් ගත්තා. ඔබටත් එහෙම වෙන්න පුලුවන්.

    ReplyDelete
  15. අලුත් දෙයක් ගැන හිතන්න.
    අපි හැමෝටම වගේ ඔය අත්දැකීම තියෙනවා. එත් ඔච්චර දුර ගියේ නැ.

    ReplyDelete
  16. එච්චරම ආදරේ කලා නම්, ඔයාට තිබ්බේ එයාගෙන් මුලින්ම අහන්න...

    අනික, කෙල්ලෙක්ට නොදැනෙන්න විදිහක් නැහැ. ලඟම ඉන්න කොල්ලෙක්ගේ ආදරේ...

    මෙහෙම කියනවට සමාවෙන්න...
    නමුත්....
    එහෙම බැලුවොත්, එයා ඔයාව පාවිච්චි කරල වගේ එයාගේ හිතේ දුක නිවිල, වෙන කෙනෙක්ව සෙට් වෙනකන්.
    නැත්තම් ඔයාට එච්චරම දෙයක් උනාමවත් එයා යාළුවෙක් හැටියටවත් බලන්න එන්න ඕන.

    දැන් කිසිම අසනීපයක් දුකක් නැතිව ඇති කියලත් හිතනවා.

    ReplyDelete
  17. නැති වුණ දේවල් ගැන දුක් වෙන්න එපා සංවේදී.....අනිත් දේ තමයි කෙල්ලෙක්ට ආදරය කරනවානම් ඒක කියන්න.කෙල්ලො බලාගෙන ඉන්නෙ එහෙම අහන්න.හිතෙන් කොච්චර ආදරය කළත් වැඩක් නැහැනෙ.සමහර විය ඔයාගෙ ආදරේ එයාට දැනෙන්න ඇති.ඒත් ඔබ ප්‍රකාශ නොකරන නිසා ඇය වෙන අතක ගියා වෙන්නැති....

    ReplyDelete
  18. මෙය ඔබේත් මගේත් කතාවයි මිත්‍රයා. හැබැයි අවසාන කොටස හැරෙන්නට :)

    ReplyDelete
  19. එයා ඔයාව පාවිච්චි කළා මිත්‍රයා............ ජීවිතේ අලුතින් පටන් ගන්න............ ඔයාට පුලුවන්.............

    ReplyDelete
  20. අපි එකම බෝට්ටුවේ සහෝදරයා. ආදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති

    ReplyDelete
  21. කොල්ලෝ ආදරේ බිඳ ගත්තාම තමන්ගෙන් පලිගන්නේ ඔහොම තමා . . මම අත්දැකීම්න් දනන්වා. මගේ බ්ලොග් එකේ එපා හිරු පායන්න කියලා ලියපු කතාව කියෝපන් ඒ මගේ කතාව. වෙනසකට තියෙන්නේ එයාගෙන් අයින් උනේ මම වීම. පස්සේ මම ම විඳෙව්වා . . අන්තිමේදි අවුරුදු 10ක පස්සේ එයාගේ අක්කගේ වෙඩින් එකට මට ආරාධනවක් ආවා මොකද අක්ක බැඳපු එකා මට ගොඩක් හිතවත් උනු එකෙක් නිසා. එදා වෙඩින් එකේදි එයා ඒ වෙනකොට යාලුවෙලා හිට්පු කොල්ල ලඟට වෙලා මට දාපු ගෙම්බර් දැක්කම මට හිතුනා මේ වගේ එකෙක් නිසා මම මොන මඟුලට චාටර් වෙනවද කියලා . . එදායින් පස්සේ මම ආපහු පරන ජොලි පොර . . හෙ හෙ හෙ

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. හිත හදා ගන්න අමාරුයි,,, එත් තමන්ගෙන්ම පලි ගන්න එපා, අම්ම තාත්තා පවුලෙ අය ගැන හිතන්න...
    මාත් ඔය බෝට්ටුවේම තමයි.අවුරුදු 10 කට වැඩි කලෙක ඉඳන් මමත් grl කෙනෙක් ගැන ඔයා වගේම හැම හැගිමක්ම හිතේ හිරකරන් දුක් විඳිනවා. මේ කතාව කියෙව්වම මට කියන්න වචන නැහැ.... :(

    ReplyDelete
  24. මොක ද දැං පේන්න නැත්නේ මුණු පොතෙත් නැහැ නේද???

    ReplyDelete
  25. මු මේ post එක දාල ගඟක මුහුදක වත් පැන්නද දන්නේ නැහැ .

    ReplyDelete
    Replies
    1. අර කියුවත් වගේ කෝ මේ මනුස්සයා

      Delete
  26. අහ් මම් හිතුවෙ නෑ මේ කතව බ්ලොග් එකේ ලියවෙයි කියල .පහුගිය දේවල් අතඇරලා දන්න. හිතල දුක් උනා කියල ආය මුලට යන්න බෑ නෙ. දැන් අපිත් එක්ක හිටිය අය ගොඩක් දුර ගිහින් ඔයා තවත් ඒ කාලෙ දේවල් හිත හිතා දුක් වෙනවද ? දුකයි සුනෙතා .අතඇරල දාපන් . සතුටෙන් හිටපන් .සන්තෝස වෙයන් ලැබිච්ච දේවල් ගැන ,නොලැබුන දේවල් වලට දුක් වෙවී ඉන්න එපා හැමදාම ,එහෙම උනාම හැමදාම දුකේ තමා,

    ReplyDelete
  27. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  28. මම අදයි මේ පෝස්ට් එකත් බ්ලොග් එකත් කියෙව්වේ? මේ මනුස්සයට මක් උනාද? පෝස්ට් එක දාලා අතුරුදහන් වෙලා!!

    ReplyDelete
  29. යාලුවා..ඔබට හිමි කෙනා කවදහරි ඔබට ලැබෙයි..කාලයට ඉඩ දෙන්න..

    ReplyDelete
  30. දුක හිතෙන කතාවක්. එත් අපි බලාපොරොත්තු වෙන ආදරය අපිට ලැබෙන්නේ නැති අවස්ථාවන් ගොඩක් අයට ඇති. දැන් ඉතින් අතීතය ගැන නොහිතා වර්තමානය සහ අනාගතය ගැන හිතන එක ගොඩක් වැදගත් කියලා මට හිතෙන්නේ.

    ReplyDelete