Saturday, August 31, 2013

මාරු කාසි

කාසි රු.1000ක් බාර දුන් විට බැංකුවෙන් රු. 1200ක් (පුවතක්)



මෙහෙම කළාම කොන්දොස්තර මේන්  කියලා ඉතුරු දෙයි කියලද හිතන් ඉන්නේ...? මහ මෝඩම කතාවක්නේ....ඕකෙන් වෙන්නේ මිනිස්සුන්ට ගානට දෙන්න තියෙන මාරු කාසි ටිකත් බැංකුවට දීලා ඉතුරු ඉල්ලලා බස් කොන්දොස්තරට තවතවත් පිංසෙන්ඩු වෙන්න වෙන එකයි. 

ඕක නිසා වෙන්නෙ කොන්දොස්තරගෙ මාරු කාසි පෙරේත කම තවත් වැඩි වෙන එකයි. තියෙන කාසි බෙදල දාන්න නෙමෙයි, මගීන්ගෙන් කොහොමහරි මාරු කාසි එකතු කරගෙන ගිහින් බැංකුවට දාල තව අමතර ගානක් හොයා ගනියි. අනෙ අපිටනම් කමක් නෑ. ඒ වුණත් මීට පස්සෙ බස් එකට දෙන්න ගානට තිබුණොත් හොඳයි. නැත්නම් කළින්ටත් වඩා සොරි වීමේ සම්භාවිතාව තවත් ඉහළ යනව කියල මේ ආර්ථික විද්වතුන්ට තේරෙන්නෙ නෑනෙ. කඩ වල මුදලාලි මහත්වරුත් පනාව දාලා මාරු කාසි ගනියි....මාරු නැති අයට දෙයි කියලනම් හිතන්න අමාරුයි...මොකද එකතු කරලා බැංකුවට දීලා නිකම්ම ඉඳලා ගානක් ගන්න පුළුවන්නෙ. කොහොමත් සාමාන්‍ය මනුස්සයෙකුට වැඩිය බස් කොන්දොස්තර කෙනෙකුට හරි සිල්ලර මුදලාලි කෙනෙකුට හරි තමයි ඔච්චර ගාණක් සාපේක්ෂව අඩු කාලෙකින් කාසි වලින් එකතු කරන්න අවස්ථාව වැඩි. එහෙම බැලුවම මේක එයාලට ඉල්ලමක්.

එයාලා දෙන්නෙ නැත්තේ නැති නිසා නොවෙයි..හොර කමට..වරක් මට ඉතුරු රු.34/= ඉල්ලගන්න කොළඹ-මාතර බස් එකක කොන්දොස්තරට 6 පාරක් මතක් කරන්න සිද්ධ වුණා. 6 වෙනි වතාවේ 10 කොළේකුයි 20 කොළේකුයි දුන්නෙ නිකං මූණට දමලා ගහලා "ංආ. තියාගන්නව තමුසෙගෙ මහලොකු රු. 30..!." කියන්න වාගෙ (හරියට අපි එයාගෙ සල්ලි ඉල්ලුව වගෙ.) තරහෙන් පිපිරෙමින්...

මම දන්න බස් සේවයේ ඉන්න කෙනෙක් කියනවා මේ විදියට අහිංසක මගීන්ගෙන් එක දවසකට විතරක් 'වමට ගහන' (හොරා කන) මුදල රු. 600/= ඉක්මවනවලු. මම ඇහුව ඉතින් ඒ සල්ලි වලට මොකද කරන්නෙ කියල...ගුණසිංහපුර බස් ටර්මිනල් එකේ සෙට් එක රෑට සෙට් වෙලා බෝතල් පාටි දානවලු...

ඕක තනිකරම ආකල්පමය ප්‍රශ්නයක්.

කඩේ මුදලාලි වුනත් ඔය දේ කරන්නෙ හිතලමයි. මොකද රු. 5ක් වෙනුවට ටොෆි එකක්, චොකලට් එකක් දුන්නම මිනිහට එතනිනුත් අඩු ගානේ රුපියලට දෙකක ලාභයක් තියෙනව. මිනිස්සුන්ට ඒ වංචාව පේන්නෙ නෑ. රු. 5ක ඉතුරු දෙන්න කඩ හිමියට ගිහින් තියෙන්නෙ රු. 3ක් පමණයි. මෙතනත් වංචාව...

බස් කොන්දොස්තරල ගැනනම් තව කතා තියෙනව..

සාමාන්‍යයෙන් මම කොළඹ යන්නෙ බස් එකේ වුනත් රිසර්ච් එකට ඕන උපකරණ තොගයක් ගෙනියන්න තිබුණ නිසා ගිය සතියෙ සතිඅන්තෙ මොරටු සරසවි ගියේ මගේ කාර් එකේ.
කළින් දවසෙ ගොඩක් නිදිමරල හිටපු නිසා දන්න කියන රියදුරු මහත්තයෙක්ගෙ සහය ගත්ත. එයා බස් රථයක ටෙම්පරි වැඩ කරන කෙනෙක්.

එයා කියනවා ඔය දුර ගමන් බස් මගදි කෑම කන්න නවත්වන තැන්වලදි කොන්දොස්තරයි, රියැදුරුටයි එහෙම බස් එක නවත්වන්න ඒ හෝටලය තෝරා ගැනීම වෙනුවෙන් හෝටලයෙන් එක් වාරයකට අවම රු. 200 සිට රු. 400 දක්වා ගානෙ ගෙවනවලු. (නොමිළේ සුපිරිම කෑම, සිගරට්, සමහරවිට අරක්කු, ගංජා පවා වලට අමතරව..) 

ඒ මුදල අල්ලන්නෙ කොහොමද කියල දන්නවනෙ ඉතින්.... අසරණ මගී ජනතාවගෙන් තමා ඉතින්...

උපරිම ශීත කළ මිළ රු. 28/= ක් වන බීම බෝතලය මගීනට ගන්න වෙන්නෙ රු.50/= දීලා. මම දවසක් ඇහුව ඇයි මෙහෙම කරන්නෙ කියල...

ශීතකරණයට වැයවන විදුලි බිල අධිකයිලු....එතකොටම වගේ අපේ බස් එකේ හිටපු අය අරගෙනම ඒ ශීතකරණෙ බීම සේරම වගේ ඉවර වුනා.. කඩේ කොළුව අළුත් බීම කේස් එකක් ගෙනත් සිං සිං ගාලා ශීතකරණය පිරෙව්වෙ රොබෝ කෙනෙක් වගේ...
මම එතනින් පි වෙන්නත් කළින් තව කොළඹ-කතරගම / තංගල්ල / මාතර බස් තුනක් ආවා.. ඒ බීම ලොට් එකත් ඉවරයි...

ඒ කියන්නෙ බීම ටික ෆ්‍රිජ් එකේ තියෙන්නෙ ඊළඟ බස් එක එනකම් විතරයි...
ඒ කියන්නෙ විනාඩි ගානක් බීම එකක් ෆ්‍රිජ් එකේ තැබීම වෙනුවෙන් ඒ එක බීම බෝතලයකට රු. 20ක විදුලි බිලක්...!

කෙනෙකුට හිතෙන්න පුළුවන් අද කාලෙ විදුලි බිලේ හැටියට එහෙම නොකර බෑ කියා. හොඳයි. අපි හිතමු දවසකට බීම 500ක් විකිණෙනවා කියා. (මොන 500ද..? 1000 පනිනවා මං හිතන්නෙ.) හරි එතකොට 20/= ගණනේ දවසකට 20x500=10,000. 
එතකොට මාසෙකට 10,000 x 30 = රු. 300,000 /= (ලක්ෂ 3යි.) පොඩියි කියල හිතුවට පුංචි රුපියල් 20කින් කරන වංචාව පෙනේද..!

කඩ කාරයො හිතන් ඉන්නෙ අපි බබ්බු කියල. නැත්නම් මිනිස්සු මේ අසාධාරණය දැන දැනම කරන්න දෙයක් නැති කමට ගිණි ගණන් දීලා බොනවා...

හොරකම, වංචාව කියන එක පොඩි මිනිහගෙ ඉඳල රටේ ලොකුම පුටු දක්වාම පිළිකාවක් වගේ ඔඩු දුවල තියෙන්නෙ දැන්...

මාරු කාසි ගැන අපූරු ලිපියක් මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක 'පැණි වළලු' තීරු ලිපියෙත් සටහන් කර තිබෙනවා...

Friday, August 30, 2013

සමාජවාදය බලෙන් ඇඟේ ගැසීම

ආයෙත් ඉල්ලගෙන කන්න හදන්නෙ. පාඩුවෙ ඉන්න බැරුව. සමහරු අවවාද දීපු විදියට බල්ලෝ, පූසො ගැන නොලියා ආගම, දර්ශනය ගැන ලියල. :D

video

මේ වීඩියෝව මාරයි..මෙයා මාර දැනුම් සම්භාරයක් තියෙන අසාමාන්‍ය ගණයේ විද්වතෙක් කියා මගේ මිත්‍ර සමාජවාදී වෛද්‍යවරයෙක් මට මෙයා ආදර්ශයට ගන්න කියලා නිර්දේශ කරනවා...

මම සම්පූර්ණ වීඩියෝව බැලුවා..මට නම් ගන්න දෙයක් නෑ ඇත්තටම...මිනිස්සු වැඩිපුර ආගමික වෙන එක එයාලට (සහ සමහරවිට ඔබටත්) ලොකු ප්‍රශ්නයක් වුනාට ඒක නිරපේක්ෂව සමාජයේ දැවෙන ප්‍රශ්නයක් නොවෙයි...

උදාහරණයක් විදියට මම කතරගම දෙයියො, විෂ්ණු, අයියනායක, ගැටබරු ආදී කිසිම දෙයියෙක් සත 5කටවත් ගණන් ගන්නෙ නෑ. නමුත් ඒ මත්තෙ කටු ගහගෙන මැරෙන්න හදන මිනිස්සු ඉන්නවා. 
නක්ෂත්‍රය (කෙන්දරය, නැකැත් ඇතුළත්ව) මම විශ්වාස කරන්නෙ නෑ. ගුරුකම්, යන්ත්‍ර මන්ත්‍ර ගැනත් කිසිම විශ්වාසයක් නෑ. නමුත් විශ්වාස කරන මිනිස්සු ඉන්නවා. මට ඔවුන්ගෙන් හානියක් නෑ. 

කෙනෙක්ගෙ ආගමික භක්තිය බලෙන් අයින් කරල සමාජවාදය ඇඟේ ගහන්න බෑ. ඒක කරන්න ඕන ක්‍රමය අධ්‍යාපනය මගින් ඔවුන් යන්නෙ මිත්‍යාවන් පස්සෙ කියා ඔවුන්ටම දැනගන්නට හරින එක. 
ඒක බොහොම සියුම් විදියට ක්‍රමාණුකූලව සැලසුම් සහගතව කරන්න ඕන ආකල්පමය සහ බුද්ධිමය විප්ලවක් මිස මේ වගේ 'පස්ස උස්සනවා' වගේ පාදඩ ගණයේ ප්‍රකාශ වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේ තුප්පහි කතා කීමෙන් වෙන්නෙ කියන කෙනාගෙ නූගත්කමත්, මිනිස්සුන්ගෙ සුවහසක් සිතුම් පැතුම් වලට තියෙන දුරස්ථ භාවයත් පෙන්නුම් කරල ඔප්පු කරන එක විතරයි. කොටින්ම කියනවනම් තව තවත් පිරිහෙන එක විතරයි. 

අනිත් එක කාටවත් කරදරයක් නැති විදියට ඇදහිල්ලක් කරන එක සමාජවාදය පටවන්න බාදාවක් වුනාට සමාජයක් විදියට ගත්තම එතරම් අනර්ථකාරී නෑ. අඩු ගානේ පවු පිරෙන නිසා, දෙයියො කෝප වෙන නිසා කියල හිතල සමාජ විරෝධී ක්‍රියා නොකර ඉන්න පෙළඹෙනව. ඒක තාවකාලිකව හරි ලොකු දෙයක්. එකම අවුල මිත්‍යාව තියෙනකම් මිනිස් සංහතියේ ප්‍රගමණයක්, විද්‍යාවේ දියුණුවක්, ඉදිරියට යාමක් වෙන්නෙ නැති එක. ඒක මම පිළිගන්නවා. 

නමුත් සමාජවාදීන් දකින තරම් සමාජයේ තත්ත්වය පිරිහීමට එය ලොකු බලපෑමක් ඇති කරන්නෙ නෑ. කොටින්ම ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා මේ සමාජයෙ. ඒක සමාජවාදීන්ට සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ ඔය ප්‍රාථමික ආකල්ප තියෙනකම් සමාජවාදය වගේ විකල්ප සංකල්ප ඔවුන් පිළිනොගන්නා නිසයි. ඒ කියන්නෙ ඒක 'සමාජවාදය එකම විසඳුමයි' (මගේ පෞද්ගලික මතය එය ඉතාම හොඳ විකල්පයක් වුනත් එකම විසඳුම නොවෙයි.) කියන ඇදහිල්ලේ ඉන්න අයගෙ ප්‍රශ්නයක් හා විද්‍යාවේ ප්‍රගමණය පතන අයගේ ප්‍රශ්නයක්. පොදු සමාජයේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් නොවෙයි. පොදු සමාජයේ සාතිශය බහුතරය සමාජවාදීන් හෝ විද්‍යාඥයින් නොවන නිසා. බහුතරය සමාජවාදීන් බවට පරිවර්තනය කරන්න කෙනෙකුට වුවමනා නම් ඒක ඔහුට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇත්ත.

ඒත් ඔවුන්ගෙ ඇදහිල්ලට අවමන් කරල ඔය ප්‍රශ්නෙ විසඳන්න හදන එක මන්ද බුද්ධික වැඩක්. 

යූරි ගගාරීන් ලංකාවට ආපු වෙලාවෙ ඔහු ශ්‍රී මහා බෝධියට වඳිනවා දැකපු මාධ්‍යවේදීන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. ඔහුගෙ පිළිතුර හරිම සරලයි. "මම ගරු කරන්නෙ මිනිස්සුන්ගෙ විශ්වාසයට. ඒක හරිද වැරදිද කියන එක මට අදාල නෑ.".

මිනිස්සුන්ගෙ ඇදහිලි කියන්නෙ හරි හෝ වැරදි වේවා මිනිස්සුන්ට ආධ්‍යාත්මිකව (ලේ වලට, බොක්කටම) කාවැදී ඇති ඒවා. ඒව එකපාරටම ගහෙන් ගෙඩි හෙන්නා වගේ අයින් කරන්න බෑ.

ඒක තමයි කාල් මාක්ස් කිවුවෙ "ආගම මිනිස්සුන්ගෙ අබිං" කියා. බලන්න කොච්චර බුද්ධිමත් ප්‍රකාශයක්ද..? මිනිස්සු ගතානුගතිකත්වයෙන්, ඇදහිල්ලෙන් ගලවන්න තියෙන දුෂ්කරතාවයයි මින් පිළිබිඹු වෙන්නෙ. නැතුව ආගමට අපහාස කරපල්ලා, වෛර කරපල්ලා කියල නෙමෙයි.(කොහොමත් කාල් මාක්ස් කියන්නෙ ලංකාවෙ බක පණ්ඩිත වම්මු හිතන් ඉන්න බින් ලාඩන් නෙමෙයි, ශ්‍රේෂ්ඨ නිදහස් වින්තකයෙක් සහ දාර්ශනිකයෙක්.) 

ලංකාවෙ බාගෙට ඉගෙන ගෙන බාගෙට තේරුම් ගත්ත අඳබාලයො ඕකනෙ අසම්පූර්ණව අර්ථකථනය කරගෙන ඉන්නෙ 'ආගම අබිං' කියා. (නුදුටු කා(ර්)ල් මාක්ස්.....)

කොහොමත් වත්මන් ලංකාවෙ හැම සමාජවාදී පක්ෂෙකම ප්‍රතිපත්ති වල තියෙන්නෙ උතුම් මානව හිතවාදී දහමක් වන පිරිසිදු සමාජවාදය නොවෙයි. එක එකාට ඕන විදියට වෙනස් විදියට අර්ථ කථනය කරගත්ත විකාරයක්. 

මේවයෙ ඉන්න එවුන් තමන්ගෙ මහ එකා කියන ඕනම වැල් බයිලාවක් විශ්වාස කරගෙන ඉන්නවා. විචාර බුද්ධියක් නෑ. නියම පිරිසිදු සමාජවාදය හදාරන්න තරම් උගත්කමක් නෑ. භාෂා දැනුම නෑ. 
(මේ ළඟඳි මම උගන්වන විශ්වවිද්‍යාලෙ මට විරුද්ධව පීඨාධිපතිට පැමිණිල්ලක් කරලා, ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවක් මම සිංහලෙන් පැහැලිදි කරනවා මදි කියා. බලාගෙන යනකොට මෙයා අනිත් අයට ආගම එපා, මාක්ස්වාදය උගන්වන 'පොරක්'. සුද්දෙක් නොවුනු තමන්ගෙ ආචාර්යවරයා කියන දේ නොතේරෙන කෙනෙක් කොහොමද, මාක්ස්, එංගල්ස්, ලෙනින් වගේ අයගෙ අදහස් සෘජුව කියවල තේරුම් ගන්නෙ. කවුරුහරි තමන්ට ඕන විදියට පරිවර්තනය කරල දෙන එක හරි කියල විශ්වාස කරගෙන ඉන්න තමයි තියෙන්නෙ.)

එක්කො යාන්තමට භාෂා දැනුම, විචාර බුද්ධිය තිබුණත් ඕනෑකමක් නෑ. ගැඹුරින් හදාරන්නෙ නෑ. රිසර්ච් කරන්නෙ නෑ. හණමිටි කාරයෝ වගෙ මොකෙක් හරි කියපු අහපු එක හරි කියල ඌ මුදුනෙ තියාගෙන අදහගෙන ඉන්නවා. මටනම් එහෙම එකෙකුයි ඉස්ලාම් අන්තවාදියෙකුයි අතරෙ කිසිම වෙනසක් නෑ. උන් දන්නෙ තමන්ගෙ දහම මොන ක්‍රමේකින් හරි අනිත් උන්ගෙ ඇඟේ ගහන්න ඕන කියල මිසක් කරන නිසි ක්‍රමවේදයක් දන්නෙ නෑ. 

ඉතින් අවමානය + බලහත්කාරය....

ලංකාවෙ සමාජවාදීන්ට මම බනින්නෙ ඔවුන්ට මේක තේරුම් ගන්න බැරි තරම් ප්‍රයෝගික බුද්ධියක් නැති නිසා. අයිය පාට් එකෙන් තේරුමක් නැතුව ගිරිය පුප්පන් කෑ ගහන නිසා. මම නම් උන්ට කියන්නෙ මන්ද මානසික මෝඩයො කියල. 
(හැම සමාජවාදියටම නොවෙයි. අධ්‍යාපනයෙන් සහ ආකල්පමය, බුද්ධිමය ප්‍රවේශයකින් සහ ආදර්ශයෙන් ඒක කරන අය ඉන්නවා. උදාහරණයක් විදියට සරසවි ඇදුරන් සහ මේක තේරුම් ගත්ත දමිත් කේතක, පොළොන්නරුවේ රන්ජිත් වගේ සාමාන්‍ය මිනිස්සුත් ඉන්නවා.) 

Tuesday, August 20, 2013

සත්තු

පින්බර පෝය දවසේ සිත නිවෙන වැඩක් කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ අප නිවසේ වසර ගණනාවක් අඛණ්ඩව පවත්වාගෙන ගිය 'ලේන් ලෑල්ල' පුළුල් කරන්න.
මේ ඉන්නේ එය අළුතින් විවෘත කර නොබෝ වේලාවකින් එහි ගොඩ වැදුණු අමුත්තෙක්.

නගරයට තරමක් ආසන්න වුවත්, ලේනුන්, දඬු ලේනුන් විතරක් නොවෙයි විවිධ වර්ගවල අලංකාර පක්ෂීන් මෙහි දිනපතාම පැමිණෙනවා. ඒ අතර ගිරවුන්, කොට්ටෝරුවන්, සුදු රෙදි හොරුන් ඇටි කුකුළු පවුලක් වරදින්නේ නෑ. නමුත් මෙන්න මෙයාලා නම් එහි ගොඩවෙන්නේ කළාතුරකින්. යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ යනකොට කළින් තිබුණු ලෑල්ලත් පෙරළගෙනමයි වෙනදට යන්නේ..අළුත් ලෑල්ල ශක්තිමත්ව හදපු නිසා අද නම් එහෙම වුනේ නෑ. 

සතුන් කියන්නේ අපිට වඩා සොබාදහමට නෑදෑකම්, ඇඟෑළුම් කම් දක්වන පිරිසක්. ඔවුන් හරිම සංවේදීයි. 

ඇතැම් වෙලාවට මිනිස්සුන්ගේ ගතිපැවතුම් ඔවුන්ට ප්‍රේරණය වන අවස්ථාද තිබෙනවා.

අපේ ගෙදර තරුණ, ශක්තිමත්, ක්‍රියාශීලී පුෂ්ටිමත් පූසෙක් ඉන්නවා 'ගාර්ෆීල්ඩ්' නමින්. අපේ ගෙදර සියලු දෙනාම අනුගමනය කරන සත්ව අවිහිංසාවාදය එයාත් රකින බව ඔබ විශ්වාස කරන එකක් නෑ. ඔව් ඒක පුදුමාකාර විශේෂත්වයක්. මීයෙක් වගේ සතෙක් ළඟින් ගියත් එයා ඉව කරල බලල පැත්තකට වෙනවා. හරිම පුදුමයි.
(හදවතක් නැති නරුමයෝ කියන්න පුළුවන් 'ඒ බළලගෙන් වැඩක් නෑ.' කියා. ඒත් අපිට නම් එයා වාසනාවක්.)  

සතුන් දැකීම සහ ඔවුන්ට අහර සැපයීම පුදුමාකාර සතුටක් දනවන්නක්. ඒ සතුට සතෙක් කූඩුවක හෝ ටැංකියක කොටුකරගෙන විඳින්න බෑ...

මම නොකළත් අපේ තාත්ත සතුන් එක්ක දොඩමළු වෙන කෙනෙක්. පුදුමාකාර විදියට සතුන්ට ආදරය දක්වන කෙනෙක්.
(මං දන්නවා එහෙම අයට පිස්සො කියන අයනෙ මේකෙ වැඩිපුර ඉන්නෙ. මම නම් ඒ වගේ අය ගණන් ගන්නෙ නෑ. මම ලියන්නෙ එයාල වෙනුවෙන් නොවෙයි.)

අපේ ගෙදර හැමෝම සතුන්ට ඇල්මක් දක්වනවා. ඔවුන් සමඟ මොහොතක් ගත කිරීම හෝ ඔවුන්ගේ ක්‍රියාකලාපය බලාසිටීම පවා මානසික පීඩනය දුරලා සිත සතුටින් තබාගන්නට පුදුමාකාර විදියේ සාර්ථක උපක්‍රමයක්.

එක අතකට මේ මිනිස්සු වෙනුවෙන් ලියනවට වඩා මෙහෙම සතෙක් වෙනුවෙන් යමක් කරන එක හොඳයි කියල හිතෙනවා.

Tuesday, August 6, 2013

කඩ්ඩ ඇණයක් වෙලා තියෙන්නෙ ඇයි...?


කළින් සටහන කියවපු හෙන්රි කියල ඉංග්‍රීසි ගුරුභවතෙක් අදහස් දැක්වුව මෙහෙම.

"මම දන්න විදියට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනෙ එකාට ගුරුවරයෙක්වත් ඕනේ නෑ ඉගෙන ගන්න. අප අවට පහසුකම් තියෙනව නමුත් අවංක චේතනාවක් නෑ. කැපවීමක් නෑ. ඉංග්‍රීසි ගැන දරන ආකල්පය හොඳ නෑ.
නිකං හිතලා බලාපං, අවුරුදු ගානක් ඉස්කෝලෙදි ඉංග්‍රීසි ඉගෙනගෙනත් ඉංග්‍රීසි බැරි උන් හින්දි කතා කරන ලස්සන අර ‍ෆිල්ම් බලලම..."

ඒ කතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි.

මේ ටිකත් එකතු කරන්නම්කො ඒක තවත් සම්පූර්ණ වෙන්න.

ඕක මෙහෙමයි. ලංකාවෙ ගොඩක් අයගෙ කඩ්ඩටයි මැතටයි තියෙන්නෙ හුඹස් බයක්. බලාහෙන ගියාම මේ දෙකේම ඇති රෙද්දක් නෑ.

මෙහෙම එකකුත් තියෙනව. මම දන්නෙ නෑ අනිත් ඉකෝලවල කොහොමද කියල, මම ඉගෙනගත්ත ඉස්කෝලෙ නම් 6 වසරෙ ඉඳල 13 දක්වාම ඉංග්‍රීසි උගන්නපු ගුරුවරු පන්ති කාමරයෙදි එකම එක සිංහල වචනයක්වත් කතා කළේ නෑ. ඒක මදිකමක් විදියටයි සැලකුවෙ. ළමයෙක් බැරිවෙලාවත් සිංහල වචනයක් කිවුවත් ඌව මරාගෙන කන්න හදනව. ඒක තනිකරම ආකල්පමය දෙයක්. පොඩ්ඩක් හිතන්නකො (ඉංග්‍රීසිත් දන්නෙ නැති) චීනෙකුට සිංහල සිංහලෙන්ම උගන්නන්න ගියොත් ඌට හිතෙන දේ. ඔය දේම තමයි ලංකාවෙ කඩ්ඩ ඉගෙනගන්න ළමයින්ට වෙලා තියෙන්නෙ. 

මීට අමතරව අපේ මිනිස්සුන්ගෙ කඩ්ඩ කතාකරන්න වුවමනාවෙන් පැකිළෙන පහුබහින ගතියක් තියෙනව. මීට ප්‍රධානම හේතුවක් තමයි අනිත් උන් හිනාවෙයි කියන බය. ගොඩක් වෙලාවට මේක බොරුවට හිතින් මවාගත්ත එකක්. ඇත්තටම එහෙම හිනාවෙන උනුත් ඉන්නව නැත්තෙ නෑ.

හොඳම උදාහරණෙ මම දන්න කෙනෙක් ඉන්නව කැන්ග කියල. මිනිහ කැන්කරු දේශෙට ලැදියාවක් දක්වන නිසා ඒ කාඩ් එක මිනිහට වැටිල තියෙන්නෙ. නමුත් හොඳ සිහියෙන් ඉන්න වෙලාවට කටු ටෝක් වලට එච්චරම කැමැත්තක් නෑ. ඒත් අඩිය ගැහුවම මිනිහ අනිත් උන්ට කඩ්ඩ උගන්නන්නත් යනව. පස්සෙ අපේ උන් 'විශේෂ හේතු මත' කඩ්ඩ වැඩියෙන් පාවිච්චි කරන උන්ගෙන් අහන්න ගත්ත "කැන්ග සර්ගෙ කඩ්ඩ පන්තියටද ගියේ ..?" කියල.

කවදාවත් මාත් එක්ක තනි කඩ්ඩෙන් කොටල නැති මගෙ ඩිමෝ මල්ලි කෙනෙක් ස්ටාෆ් පාටියකදි කහ පාට මොනවද ටෙස්ට් කරල මට කිවුවනෙ "යූ සිට් හියර්...! අයි හැව් මෙනිතින්ග් ටු සේ යූ..." ඔය ඔය ඉතින්, පේන්නෙ නැද්ද අපේ ගතිය..කෙනෙක් කොහොම කොහොම හරි කඩුව දානකොට අපි එයා නෝන්ඩි කරල දානවනෙ. ඉතින් කොහොමද කරන්නෙ. ෂොට් එකක් දාගන්නම වෙනව කඩ්ඩෙන් අමතන්න.

මැත ගැන කතාකරනවනම් මම කැම්පස් යන්න කළින් ටියුෂන් කරපු නිසා දන්නව, ගොඩක් උන්ට මැත එපා වෙලා තියෙන්නෙමේ ක්‍රමයෙ තියෙන වැරැද්ද නිසා. උදාහරණයක් විදියට කිවුවොත් 6වසරෙදි මොකක් හරි සීන් එකක් නිසා මැත අනාගත්ත එකෙක් 7,8 වසරවලට යනකොට ඌ ඉවරෙටම ඉවරයි. මොකද 7තේ මැතට 6යේ මැත ඕන. 7තේ උගන්නන ගුරුවරය ළමයින්ට 6යේ දැනුම තියේද කියල චෙක් කොරන්නෙ නෑ. කෝච්චිය යනව වගෙ කඩාගෙන යනව. අනේ ඉතින් අල්ලගන්න පුළුවන් උන්ට 'ෂෝයි' කියනව. බැරි උන් 'මැට්ටො' කියල හංවඩු ගහල පැත්තකට දානව

හැබැයි සමහරවිට අර මැට්ටෙක් කියල හිතන ඉන්න දරුවෙකුට 6යේ මැත උගන්නල ගත්තනම් සමහරවිට අය බ්‍රයිටො කියන උන්ට ඇපත් නෑ...! අවාසනාවකට ලංකාවෙ බහුතරයක් ගුරුවරු සිලබස් කවර් කළා කියල සැනසීමට පත් වෙනව ළමයි බහුතරයක් අනාථ වෙද්දි. 

දන්නවනෙ. ලංකාවෙ අධ්‍යාපනය කියන්නෙ සිංහයයි, කොටියයි, පූසයි එකට දාල තඩි ගෝණෙක් මරාගෙන කාපිය කියල කියන ක්‍රමයනෙ. ඇත්තටම වෙන්න ඕන ළමයින්ගෙ දැනුම සහ බුද්ධි මට්ටම අනුව කණ්ඩායම් බෙදල වෙන වෙනම උගන්නන එකයි. 

මෙහෙම කිව්වම වෙන දේ මං දන්නව. අරය අඩුයි මෙයා වැඩියි කියල බෙදුවම සමවයසෙ සමහරුන්ගෙ හීනමානය, තව සමහරුන්ගෙ ආඩම්බරේ වැඩි වෙනව. 

ඇත්තටම ඔතන තියෙන්නෙ මෙහෙම ප්‍රශ්නයක්. කිසිම දෙමවුපියෙක් කැමති නෑ තමන්ගෙ ළමය අඩු යයි කියන ගොඩට දානවට. ඒක තනිකරම අභිමානය පිළිබඳ ගැටළුවක්. ඉතින් කරන්නෙ ගෙදරට ගුරුවරයෙක් ගෙන්නන එක. මේකත් හැමෝටම කරන්න බෑ අද කාලෙ හැටියට. එහෙම එන ගුරුවරුත් ඔය තත්ත්වෙ තේරුම් ගනියි කියල හිතන්න අමාරුයි.

මම අත්දැකීමෙන් කියන්නෙ. මගෙ ගෝලයෙක් හිටිය අට වසරෙ ඒ (මම කැම්පස් යන්න කළින් ටියුෂන් කරපු) දවස්වල. මම 8ටේ ගණන් උගන්නන්න ගියාම මට හිතුණ මූ අමු මැට්ටෙක් කියල. අන්තිමට වාර විභාගෙන් ලකුණු 26යි අරන් තියෙන්නෙ.

ත් ඇත්තටම වෙලා තියෙන්නෙ එයාට 6යේ 7තේ ගණන් බෑ. ඔය භාග සංබ්‍යා එකතු කරනව වගෙ ඒව. ඉතින් මම 8ටේ ගණන් උගන්නන එක බල්ලට දාල 6යේ ගණන් ඉගැන්නුව. ළමය සාර්ථකව 6යේ ගණනක් හදපු හැමවෙලාවෙම හිතාමතාම මිහිහ දක්ෂයෙක් කියල වර්ණනා කළා.
එයා ඊට හරියටම මාස 8කට පස්සෙ වාර විභාගෙ ලකුණු 67ක් ගත්ත. 

විශ්වාස කරන්න පුළුවන්නම්, 9යෙදි උනත් එයා මගෙ පන්තියෙදි 9 වසරෙ එක ගානක්වත් හදල තිබුනෙ නෑ. 8ටේ ගණන් පුළුවන්නිසා ඉස්කෝලෙදි තේරුම් ගන්න ඇති 9යෙ ඒවා. පස්සෙ මම කැම්පස් ගියාම පන්තිය නැවැත්තුව. ළමයගෙ තාත්ත ඩොක්ටර් කෙනෙක්. එයාල මට තෑගි බෝග අරගෙන අපේ ගෙදර ආව. 

අප්පිරිය වෙලා තිබුණ ගණිතය දැන් එයාගෙ ප්‍රියතම විෂයක්ලු. උසස්පෙළ කළෙත් මැත්ස් වලින්. මේ අවුරුද්ද අන්තිමට එයා පෞද්ගලික විශ්විද්‍යාලයකින් අයි.ටී. උපාධිය ගන්නව.

Monday, August 5, 2013

පසුතැවීම

ගුරු ජීවිතයේ මා කම්පනයට පත්වූ තවත් දවසක් අද. මේ තරම් ගැඹුරු ලෙස ඒ හැඟීම අන්තිමට අත් වින්දෙ 2011.12.01 වැනිදා සිදුවූ මේ සිදුවීමෙන්*. 

අද හවස 3ට විතර මට ගෙදරින් කෝල් එකක් ආවා. අම්ම කතා කළේ.

"ඔයාව හම්බෙන්න කවුද ඇවිත්. ෆෝන් එක දෙන්නම්...?"

"හලෝ... .... මහත්තය නේද?"

"ඔව්."

"ඔබතුමා කවුන්සලින් කරනව නේද? මම මගෙ පුතත් එක්ක ආවෙ ගාල්ලෙ ඉඳල. පුතා මේ පාර ඒ.ලෙවල් ලියනව."

මොකක් හරි වයර් මාරුවීමක් වෙලා තියෙනව කියල මට මීටර් වේගෙන එනව.

"මට ඔබතුමාගෙ ගෙදරට ගිහින් හම්බෙන්න කියල කිව්වෙ වළස්මුල්ලෙ පොලිසියෙ ඕ.අයි.සී. මහත්තය."

මම හිතුව හරි. ලොකු වැරදීමක්. ලංකාවෙ කිසිම පොළිසියක නිළධාරියෙක් මම පෞද්ගලිකව හඳුනන්නෙ නෑ. අනිත් එක මට හිතාගන්න පුළුවන් වුනා එතුමගෙ අවශ්‍යතාවය. ළඟ එන විභාගෙ ස්ට්‍රේස් එක නිසා ඔහුගෙ දරුව යම් සුළු මානසික අවපීඩනයකට ලක් වෙලා වගෙ. කොහොම වුනත් මට ඒ සම්බන්ධෙන් කරන්න පුළුවන් දෙයක් නෑ.

"ලොකු වැරදීමක්නෙ වෙලා තියෙන්නෙ. මම ඔයා හිතා කෙනා නෙමෙයි. මගෙ නම තියෙන වෙන කෙනෙක් වෙන්න ඕන. මම කවුන්සලින් කරන්නෙ නෑ. කම්පියුටර් සයන්ස්, ඉලෙක්ට්‍රොනික්ස් නෙ උගන්නන්නෙ."

"ඔබතුමා ..... නෙ? කැම්පස් එකේනෙ වැඩ කරන්නෙ."

මේක මළ ඇණයක් වුනානෙ. 

"ඔව්. කැම්පස් එකේ තමයි. ඒ උනාට කවුන්සලින් කරන්නෙ නෑ. මම කම්පියුටර්-ඉලෙක්ට්‍රොනික් තමයි කරන්නෙ. ඔයා හොයන්නෙ වෙන කෙනෙක්."

අනේ මන්ද. කොහොමහරි ඒ මහත්තයට කරුණු පැහැදිළි කරල දුන්නම පිළිගත්ත.

හවස 6 වෙනකම් මගෙ ලෙක්චර් එකක් තිබුණ. 
6.15ට විතර මම ගෙදර ආව. අම්ම තේ එක හදාගෙන ඇවිත් කිව්ව මෙහෙම කතාවක්.

"මම ගියා හවස එළවලු ගන්න පොළට."
පොළ කිව්වට ඒක හන්දියෙ තිබුණ දිළිඳු තාවකාලික කඩ පේළිය.

"පොළේ වෙළදම් කරන දුප්පත් අම්ම කෙනෙක් කිවුවනෙ අර මනුස්සය අපේ ගෙදරට යන පාර ඇහුව, එයා තමයි පාර කිවුවෙ කියල." 

එහි විශේෂත්වයක් මම දැක්කෙ නෑ. ගමේ ඉස්කෝලෙක අවුරුදු විසිගණක් උගන්වන අපේ අම්මව ගමේ මිනිස්සු දන්නව. අපේ ගෙදරත් දන්නව ඇති. එක අහඹු සිදුවීමක් වෙන්න ඇති.  

"ඒත් මම ඇහුව ඔයා මාව දන්නවද? අපේ පුතාව දන්නෙ කොහොමද? කියල. කැම්පස් එකේ වැඩ කරන ..... මහත්තයගෙ ගෙදර කියලලු ඇහුවෙ."

හැබෑට අම්මව දන්නව වුනාට මම කැම්පස් එකේ වැඩ කරනව කියල දන්නෙ ගමේ ඉතාම හිතවත් කීප දෙනයි.

"ඉතින්?" ඔන්න ඒ පාර නම් මම නොඉවසිලිවන්ත වුනා. හිතුවට වඩා මිනිස්සු මාව දන්නව වගෙ...?

"එයාගෙ දුව පුතාගෙන් ඉගෙන ගන්නවලු."

මගේ පපුව හෝස් ගාල ගියා.

කැම්පස් ළමයි වැඩි දෙනෙක් ගොඩක් දුප්පත් පවුල්වල අය කියල මම කොහොමත් දැනගෙන හිටිය. මොකද මමත් ලංකාවෙ ආණ්ඩුවෙ කැම්පස්වලම ඉගෙනගත්ත එකෙක් නිසා.

ඒත් මේ තරම් විශාල දුකක් මට එකපාරටම ඇතිවුනේ ඇයි...? 

මට මතක්වුනා දැන් දවස් කීපෙකට කලින් වෙච්ච සිද්දියක්.

පිරිමි ළමයි 5 දෙනෙක් මාව හම්බෙන්න ආව. 

"සර් උගන්නනව හොඳයි. ඒත් අපිට ඉංග්‍රීසි බෑ සර්. බැරිද.........."

මම උත්තර දුන්නෙ තරමක් නුරුස්සන ස්වරයෙන්....

"පුතාල. දැන්ද ඕක කියන්නෙ? බලන්න. ඔයගොල්ල තව මාස 5කින් අවුට් වෙන්න ඉන්න අය. ඉංග්‍රීසි බැරිව කොහොමද එළියට ගිහින් තැනක වැඩ කරන්නෙ..? දැන්හරි මහන්සිවෙලා කඩ්ඩ හදාගන්න. ඉංග්ලිෂ් මීඩියම් කරන්න ඕන සබ්ජෙක්ට් එකක් සිංහලෙන් කරන එක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි. අනික මගේ හිතුමතේට එහෙම කරන්නත් බෑ. මගේ ජොබ් එකත් ගහල යන වැඩක් ඒක. මම එහෙම කළොත් ඒක අමාරුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්ත අයට කරන අසාධාරණයක්. අනික ගොඩක් වචනවල සිංහල තේරුම් තවත් අමාරුයි. දැන් ඔයාල දන්නවද 'තස්බණුව' කියන්නෙ මොකද්ද්ද කියල?"

අහිංසකයො ටික උඩබිම බලනවා.

"ටෙලිෆෝන් එක හලෝ...! දැන් ඔයාලට 'යාවත්කාළීන කරනව' කියන එකද වැඩියෙන් තේරෙන්නෙ නැත්නම් 'අප්ඩේට් කරනව' කියන එකද..?"

"අප්ඩේට් කරන එක සර්...." එක්කෙනෙක් ඇහෙන නොඇහෙන ගානට කොඳුරන්නෙ පරාජිත ස්වරයෙන්...

කට කොණකට නැගුණ හීන් හිනාවත් එක්ක මම මෙහෙම කිව්ව.

"මගේ නෙමෙයි. ඔයාලගෙ වචන වලින්ම ඔප්පු වෙනවනෙ ඔයාල මෙතන කරන යෝජනාව ප්‍රැක්ටිකල් නැති බව...?"

කට්ටියගෙම මූණුවල සටහන් වෙලා තිබුණ බලාපොරොත්තු කඩවීමේ වේදනාව මගේ ටෝන් එක වෙනස් කරන්න සමත් වුණා.

මම නක්කල් මෝඩ් එකෙන් නිවුණු මෝඩ් එකට මාරු වුනා. 

"පුතා. අමාරුය කියල සමහර දේවල්, ඉංග්‍රීසි වගේ ඒව මහඇරල යන එක ප්‍රශ්නෙට විසඳුමක් නෙමෙයි. අපිත් ඉංග්‍රීසි කතාකරන පවුල්වල අය නෙමෙයි. බොහොම අමාරුවෙන් තනියම කට්ට කාල ඉගෙනගත්තෙ." 

තවදුරටත් මේ පණ්ඩිතය එක්ක කතා කරල වැඩක් නෑ කියල හිතුණ හින්දද කොහෙද එයාල යන්න ගියා.

ඇත්තටම මට එහෙම උගන්වන මාධ්‍යය වෙනස් කරන්න බලයක් නෑ. අඩුගානෙ සිලබස්වත් වෙනස් කරන්න බෑ හිතුමතේට.

ළමයි හිතාගෙන ඉන්නෙ අපි සර්වබලධාරී කියල. 

ඒත් එදා මම ඉඳපු මතේ 100% හරිද කියල මට දැන් හිතෙනව.

සාධාරණ වේවා අසාධාරණ වේවා මොකක් හරි හේතුවත් නිසා අර අසරණ මනුස්සයගෙ දරුවට උගන්නන ඒව තේරෙන්නෙ නැතුව විභාගෙ අවුල් ගියා කියල හිතමු. 
ඒක ෆයිනල් ඉයර් එක්සෑම් එකක්. ඒ කියන්නෙ උපාධිය ගන්න අඩුම ගානෙ අවුරුද්දක් පරක්කු වෙනව. කොහොමහරි ඒ පාඩුව දරාගත්ත කියමුකො. ඒත් තමන් මහ ඉහළින් බලාපොරොත්තු තියාගෙන හිටිය දරුව උපාධිය ෆේල් කියන තාවකාලික හරි හැඟීම අර වගේ අසරණියක් කොහොමනම් විඳියිද? 
තමන්ගෙ ලෝකයෙ එකම සැනසීමත් පරක් තෙරක් නොපෙනන තරමට ඈතට ගිහින් තියෙන යථාර්ථය කොහොම නම් ඉවසයිද...? කොච්චර ඇඟිලි ගැන ගැන ඉන්න ඇද්ද උපන්දා සිට දුකම උරුම ජීවිතේ කෙළවරක් දකින්න. උපාධි ලෝගුව දාල රජ කිරුළ පළඳින හැටි....පින්තූරෙ රාමු කරල සාලෙ මැද විරාජමානව ප්‍රදර්ශනය කරන හැටි...කොච්චර හීන දකින්න ඇද්ද...? ඒ හීන අඩුගානෙ තව අවුරුද්දක් කල් යනව. දිනුම් කණුව පෙනි පෙනී කඳුලෙන් බොඳ වෙලා ඒක නොපෙනී යනව. 

සංවේදී කමට හිනාවෙන සමහර මහත්තුරුන්ට අවුරුද්ද කියන එක මහලොකු කාලයක් නෙමෙයි...ඇත්ත..ඒත් දුප්පතෙක්ගෙ ජීවිතේ අවුරුද්ද ඒ වගේ කෙනෙක්ගෙ අවුරුද්දට වඩා සෑහෙන්න දිග බව තමා කියන්න තියෙන්නෙ.

අනේ මන්ද වෙලාවකට හිතෙනව අපි ජීවිතත් එක්ක සෙල්ලම් කරනව වැඩිද කියල. 

*ඒ සිදුවීමේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි, මා ෆේස්බුකියෙන් පරිබාහිරව පළමු වරට අන්තර්ජාලයේ සංවේදී හදවත් ඇත්තවුන් අමතන්නට තීරණය කළේ එදා. ඒ ලාස්ට් රෝ වෙනුවෙන්. මම ඒ සටහන ෆේස්බුක් එකේ තිබ්බෙ ගොඩක් බරවෙලා තිබුණ මගේ සිත සැහැල්ලු කරගන්න. ඒකට හිතපු නැති ප්‍රතිචාරයක් ලැබුණ ඒ වනවිට කැළණියෙ කැම්පස් එකේ ඉගෙන ගත්ත මම කවදාවත් දැක නොතිබුණු ප්‍රභාත් දර්ශන මල්ලිගෙන්. සංවේදී ඔබ වෙනුවෙන් ලියවෙන්න ගත්තෙ ඔහුගෙ ඉල්ලීමට. ඒ වනවිටත් බ්ලොග් ලෝකෙට පය ගහල හිටිය ගලා යන ජීවිතය ලියන නදී, පැන්ඩා සහ චන්දික ගුණතිලක යන මල්ලිලා තවදුරටත් දිරිමත් කළා.

Friday, August 2, 2013

වෙඩි කෑ උන් වෙනුවෙන් ධනපතියාගේ සටහන

මම සමාජවාදියෙක් නොවෙමි.
යූ.ඇන්.පී. කාරයෙක්ද නොවෙමි.
එහෙත්......
මා කන හැම බත් ඇටයක් පාසා ඔවුන්ගේ දහදිය බවට හැරවූ රුහිරු ගැබ්ව ඇති බව....
සමහර විට ඔවුන්ට කිසිදින හිමි නොවූ , දරුවන්ටවත් හිමි නොවන, මා ලැබූ වරප්‍රසාදවලට ඔවුන් දහදියෙන්, කඳුලෙන්, සුසුමෙන් දායක වූ බව....
සරසවි බිමේදී 'සර්' කියා මා ලබන සෑම ලයාන්විත ආමන්ත්‍රණයක්ම ලැබෙන්නේ මා කිසිදිනක විඳ නැති තරම් දුක් කම්කටොළු දැරූ සිරුරකට අයත් මුවකින් බව....
ඔවුන්ගේ එකම වස්තුව වූ දරුවන්ගේ සුවඳින් මගේ ලෝකය එකළු වන බව....
මගේ පඩි පතේ සෑම රුපියලකම ඒ අසරණයින්ගේ සිය දරුවන් වෙනුවෙන් ඔවුන් තැබූ බලාපොරොත්තුව කැටිව ඇති බව..... 
මගේ වාහනයේ දැවී යන සෑම ගැසොලින් බිඳුවකම ඔවුන්ගේ ජීවය ඇති බව....
මට මොහොතකදු අමතක නොවේ.....

මේ සටහන දිය බිඳකට දිවි පිදූ පීඩිතයින් වෙනුවෙන් ඉහල මධ්‍යම පාන්තික ධනපතියෙක්.

ප.ලි. 
මම හිතන්නේ නැහැ මම ධනපතියෙක් කියා. නමුත් ඔය සමාජවාදියෝ කියන උන් මට කියන්නේ එහෙමයි. මේ වචනය උන්ගෙ එකක්. මගේ එකක් නොවෙයි. 

මම කොළඹ විශ්වවිද්‍යාලයේ ආධුනික කථිකාචාර්යවරයෙක්ව හිටපු කාලෙ එහි ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය නායක "ආචාර්යවරු කියන්නෙ ධනපතියෝ. උන්ට ගරු කරන්න ඕන නෑ." කියල කියනව මගෙ කන් දෙකටම ඇහුණ. මං දන්නව මේ වගේ ආකල්ප එයාලට පොවන්නෙ අවුරුදු 7-8 උපාධිය ගන්න බැරිවුන නිසා සරසවි ඇදුරන්ට වෛර කරන අර අන්තරේ කියන එකේ නායකයො කියාගන්න උන් කියල.
මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු 3ක් විතර වෙනව. ඒ කාලෙ FUTA එක එච්චර ජනප්‍රිය නැහැ. ඇත්තටම ළමයි සහ අපි අතරෙ සෑහෙන ලොකු පරතරයක් තිබුණ. මේ නිසා ලේසියෙන්ම අර වගේ අවස්ථාවාදීන් මේ අහිංසකයින්ගෙ බ්‍රේන් වොෂ් කළා. ඒකට අහිංසක දරුවො පළි නෑ. වගකියන්න ඕන මේ රටේ තුප්පහි සමාජවාදය.

Thursday, August 1, 2013

මගේ හිතවත් බැචාලා වෙතටයි

කැම්පස් එකේ මාස 6ක් (පළවෙනි මාස 6) මාත් එක්ක එක කාමරේ හිටපු වෙන ෆැකල්ටියක පොරක් සහ ඒ වගේ ගොඩක් දෙනෙක් (හැමෝම මගේ බැචාලා කියන එවුන්) මගේ බ්ලොග් එකේ 'කට්ට් කෑම' සටහන ගැන හෙනටම අවුල් ගිහිල්ලා.

මට මැසේජ් කරනව හෝ ගාලා "උඹ කෑවයි කියන කටු මොන කටුද? උඹට වඩා කටු කන උන් ඕන තරම් ඉන්නවා. හැබැයි උන්ට ලියන්න බෑ. උඹ නිකං පොරක් වෙන්න හදන්න එපා. අපි දන්නව උඹ පොරක් නෙමෙයි කියලා. උඹ කවුද කියල උඹ ඉගෙන ගත්තු කැම්පස් එකෙන් දෙයි නියම සහතිකයක්. කොන්ද පණ නැති එකෙක්නෙ උඹ. උඹ හිතන් ඉන්නවා උඹ හරි විශේෂයි කියලා. එහෙම එකක් නෑ. නිකං බොරු ප්‍රතිරූප ගොඩනගලා මිනිස්සු රවට්ටන්න එපා යකෝ. උඹ උඹට නැති පොරත්වයක්නේ උඹේ බ්ලොග් එකෙන් මවා පාන්නේ. උඹ කියන ඒව ඇත්ත කියල හිතන් ඉන්න ලංකාවේ බොලඳ රීඩර්ලා අතරේ උඹලා වගේ උන් පොරවල්..අනේද කියන්නෙ...? අඩු ගානේ උඹට තාම කෙල්ලෙක් දාගන්න බැරි වුනා..බියර් එකක් බොන්නෙ නැති උඹත් මිනිහෙක්ද යකෝ..බ්ලා..බ්ලා..." 

ඇත්තටම හොඳ වෙලාවට මම එහෙම එකක් ලිවුවේ... මිනිස්සු කවුද කියල මට හඳුනගන්න මේක සෑහෙන හොඳ අවස්ථාවක් වුණා.
හිහ්...ඉතින් මම කිවුවද "මම විතරයි කටු කෑවේ. වෙන මොකෙක්වත් මම තරම් කටු කාලා නෑ. මම කාපු කට්ට් තමයි සුපිරි" ? අනිත් උන්ට උන් කාපු කටු ගැන ලියන්න බැරි උනා කියලා මම කාපු කටු ගැන නොලියා ඉන්න ඕනෙද? උන්ට ලියන්න බැරි වුනා කියල මම පළිද..? මම පුළුවන් හැම වෙලාවෙම එහෙම උන් ගැන ලියන බව මගේ පාඨකයො දන්නවා ඇති. වීරප්පන් ගැන එහෙම ලියපු සටහනක් ලංකාවේ ජනප්‍රිය සඟරාවකින් උපුටා ගන්න පෙළබෙන්නෙ ඒ නිසා නොවේද..?

අනිත් චෝදනාව මම මගේ බ්ලොග් එකෙන් මගේ ප්‍රතිරූපය හදාගන්නවා කියන එක. හිහ්..හිහ්...ඉතින් දෙයි හාමුදුරුවනේ මගේ බ්ලොග් එකෙන් මගේ ඉමේජ් එක හදාගන්නෙ නැත්නම් වෙන මොන කෙන්ගෙඩියකින් ඒක හදන්නද..? දැන් එතකොට මම ලියන්න ඕන මම කිසිම ටැලන්ට් එකක් නැති, කෙල්ලෙක්වත් කැමති වෙන්නෙ නැති කැත, ලියනවා ඇරෙන්න වෙන කිසිම හරයක් ඇති දෙයක් නොකරන මෙලෝ රහක් නැති එකෙක් කියලාද? 

උන් කියවන්නෙ මගේ බ්ලොග් එක විතරද කොහෙද...! උන් කියන විදියට මම ලියන්න ඕනෙ මගේ දුර්වලකම් ඉස්මතු වෙන විදියට..?
මොනාද එතකොට මෙයාල මගේ දුර්වලකම් විදියට ප්‍රධාන වශයෙන්ම දකින ඒව..

අංක එක මම බොන්නෙ නැති එක....මම බොන්නෙ නැත්තෙ මට ඕන නිසා. ඒක තේරුමක් නැති නිසා. කොහොමත් හේතු වැඩක් නෑ කෙනෙක් කන බොන දේ තීරණය කරන්නෙ ඒ කෙනා. හැබෑවටම හිත හොඳ නම් අනිවා බෙබේ කෙනෙක් වෙන්න ඕනෙලු...!
ඊළඟ එක මට කෙල්ලෙක් නැති එක...! ඒ ගැන මට වඩා අමාරුවක් මෙයාලට තියෙන බවයි පේන්නෙ. හිහ්. 

සමහරු හිතන් ඉන්නවා කොහේ හරි යන ඉසකුඩිච්චියක් කරගැහුවම හරි පොරක් කියලා....එහෙම මොකක් හරි මරණයක් කරගහලා මයිල්ස්ටෝන් ඇචීව් කළා කියල කියන්න ඕන නම් මට ඕන තරම් චාන්ස් තිබුණා...ඒක මගේ පර්සනල් ඉන්ටරස්ට් එක...ඉගෙනීමට මුළ් තැන දෙන එක....හරි හමන් රස්සාවක් නැතුව කසාදෙ විතරක් වෙලාවට කරගෙන දැන් පොරවල් වෙලා ඉන්න අයට තේරෙයි ළමයි බමයි ඉන්න කාලෙක, ප්‍රශ්න එනකොට කරගත්ත ගොන්කම කියලා...! මට හිතෙන්නෙ මෙතන තියෙන්නෙ තමන් වැටිච්ච වළේ මාවත් නොවැටිච්ච එක ගැන ඉරිසියාවක්...පවු එයාලා...

මම කවුද කියල කැම්පස් එකෙන් සහතිකයක් දෙයිලු. ඔව් දුන්නා තමයි. උපාධි සහතිකේ. වෙන මොන සහතිකද කැම්පස් එකකින් බලාපොරොත්තු වෙන්නෙ? කැම්පස් යන්නේ ඉගෙන ගන්න ගන්නම නෙමෙයි..වෙන වෙන අඩුපාඩුත් පුරවගන්න කියල හිතාගෙන ඉන්න හාදයොන්ට නම් උපාධිය විතරක් ගන්න එක හෙන ප්‍රශ්නයක් තමයි. ඒත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි නම් කොහේවත් යන එකෙකුට ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ. 

මට කොන්ද පණ නැතිලු. හා..හා..මගේ කොන්ද ගැන මගේ ෆැකල්ටියෙ උන් දන්නවා. මට ක්ලාස් එක තිබිලත් ස්ටාෆ් ගත්තෙ නැත්තෙ කවදාවත් මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නොවුනු දුප්පත් අහිංසකයින්ගෙ ප්‍රශ්න කතාකරපු නිසයි කියල දන්න මිනිස්සු දන්නවා.

මම විශේෂ කෙනෙක්ද නැද්ද කියල තීරණය කරන්න ඕන මිනිස්සු. මම නොවෙයි. ඇත්ත. මම විශේෂ කෙනෙක් නොවෙන්නැති.

මම බොරු ලියනවනම් ඒ බව ඉස්සෙල්ලම දැනගන්න ඕන මම. ඔය කියන කස්ටිය පාස් අවුට් උනායින් පස්සෙ මම ආපු ගියපු, වැඩ කරපු, ලැගපු හැම තැනම මගේ පස්සෙන් ආවද හැම තැනම මේවා බොරු කියල කියන්න..? 

මම අද වෙනකම් එක අකුරක්වත් ගොතපු ප්‍රබන්ධ ලියලා මිනිස්සු මුළා කරලා නෑ. මේකෙ තියෙන හැම සිද්ධියක්ම, අත්දැකීමක්ම, අකුරක් ගානෙ ඇත්ත කියල මගෙ හදවත දන්නවා. 

මිනිස්සු මට රැවටිලා කියල කියනවනම් එක මගේ පාඨකයින්ට කරන අවමානයක්. නිග්‍රහයක්. මිනිස්සු එච්චර මෝඩයොද..? රවට්ට්ලා මොනව ගන්නද..? මම මේක ලිවුව කියල මට කිසිම ප්‍රතිලාභයක් නෑ. ආත්ම තෘප්තිය විතරයි. කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රසිද්ධිය වෙනුවෙන් තමයි මෙච්චර දඟලන්නෙ කියලා. එහෙනම් ඉතින් මම අන්වර්ථ නාමයකින් පෙනී සිටින්නෙ ඇයි? 

මම අකුරු කරන්නෙ මට පොළොවේ පය ගහලා අත්විඳපු දේ. මම හැබැහින් දැකපු දේ. නැතුව හිතින් මවාගත්තු මනෝ විකාරවත්, ගොතපු ප්‍රබන්ධවත්, වෙන කාටවත් ඕන දේවත් නෙමෙයි. ඒව මිනිස්සුනෙ ජීවිත වලට, හදවත් වලට වදින විදියට ලියන්න මට යම් හැකියාවක් තියෙනවා. 

ජීවිතයේ ඒකාකාර විදියට විඳින මිනිස්සු මගේ සටහන් කියවලා යම් විවිධත්වක් සහ ඉන් සැනසීමක් ලබනවා. 

කුහක කමයි ඉරිසියාවයි පැත්තක තියලා උපේක්ෂාවෙන් බැලුවොත් තේරෙයි මම කවුද කියලා. 

අතුරු සටහන : ලකා කියල මහත්මයෙක් මේ අඩවිය ගැන අපූරු අදහස් දැක්වීමක් කර තිබෙනවා.

ප.ලි. 
මගේ ආදරණීය 'සංවේදී' පාඨකයිනි, 
ඔව්. ඔබලා හරි.
මේ පෝස්ටුව පළ නොකළ යුතුව තිබුනා යයි දැන් මටත් හිතෙනවා.
මේ වගේ (උදාහරණ 1උදාහරණ 2) මානසිකත්වයක් තියෙන කෙනෙකුට අපි අනුකම්පා කරන්න ඕන.
මේ පිළිබඳව ඔබෙ වටිනා කාලය නාස්ති කිරීම ගැන දහස් වාරයක් මට සමාවන්න.
මේක අයින් කරන්න මම කැමති වුනත් එහෙම කළොත් සින්ඩිකේටර් වලින් මගෙ අඩවිය බ්ලොක් වෙන නිසා එහෙම කරන්න විදියක් නෑ.

ඒ ගැන යළිත් මට සමාවන්න.