Friday, June 21, 2013

නුඹට අවසරයි......

අට විසි වියේදී මා සූවිසි වියැති පුතුන්ගේ පියෙකු කළ ආදරණීය පුතුනි.....
මා දෙපා නමැද සරසවි මවු තුරුලෙන් නික්මී ඉගිල යාමට අවසර පතන පුතුනි......
නුඹට අවසරයි......
එහෙත්....නුඹ ගැන බියක් මසිත නැතුවාම නොවෙයි...
මන්ද....අදින් පසු නුඹ ගැටෙන්නේ පරිපූර්ණ තත්ත්ව තුළ හැසිරෙන අථත්‍ය යථාර්තය සමඟ නොව,
පරිපූර්ණ යථාර්තය සමඟ නිසායි.
ඒක තේරුණේ නැතුව ඇති....
මට කියන්න ඕන වුනේ මෙපමණකි.....
ආදරණීය පුත,
කඩුල්ලෙන් එහා ලෝකය නපුරුයි..... 
ඒ නපුරු ලෝකයේ ලොකු මිනිසෙක් නොව, හොඳ මිනිසෙක් වී 
නපුරු ලෝකයට දිවි හිමියෙන් සේවය කරන්න...
නපුරන්ගෙන් ප්‍රවේසම් වී 
ඔවුන'තර සිටින අහිංසකයින් වෙනුවෙන් ඔබ ලැබූ තාවකාලික ජීවිතය කැපකරන්න.
මතක තබාගන්න, ඔබ, ඔවුන්ගේ එකම බලාපොරොත්තුවයි....
ඔවුන්ගේ ලෝකයේ කඳුලැලි පිසින එකම ඉටුදෙවියා ඔබයි....
කිසිම හේතුවක් නිසාවත් ඔවුන්ට නපුරු වන්නට එපා...
හැකිනම් මා පෙවූ සිප්කිරෙන් බිඳක් ඔවුන්ගේ මුව'ඟ තවරන්න...
එය, මා ඔබ වෙතින් ලබන ඉහළම ගෞරවයයි...
නුඹත් මමත් මේ රටට වී ඇති ණය ගෙවිය හැකි එකම මග එයයි...

Monday, June 17, 2013

ගුරුවරු මෙහෙමයි

මගේ අම්මා ගුරුවරියක්. ගම්බද ඉස්කෝලෙක. ඒ ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ හරිම දුප්පත් අහිංසක ළමයි. මේ සිදුවීම වෙලා දැන් මාසයක් විතර ඇති.

හය වසරෙ ගැහැණු ළමයෙක් ඇවිල්ල අසනීපයි කියල ගෙදර යන්න අවසර ඉල්ලුවලු. මොකද්ද අසනීපෙ කියල ඇහුවම බඩේ අමාරුවක්ලු. ගෙදර තියෙන්නෙ හැතැප්ම 6ක් විතර ඈත නිසාත්, එක්ක යන්න කවුරුවත් නැති නිසාත් එයාව නිදහස් කරල නෑ.

ටික වෙලාවකින් පණිවුඩයක් එනවලු එයා සුදු ගවුම නාස්ති කරගෙන කියලා. ඉතින් අම්මයි තව ගුරුතුමීල කීප දෙනෙකුයි ගියාලු බලන්න. බැලුවම කතාව ඇත්තලු. සුදු ගවුම එහෙම පිටින්ම කහ පාට වෙලාලු. 'මොකද වුනේ පුතේ?' කියල ඇහුවම කිවුවලු කතාව.

මෙයා වැසිකිළියට ගිහින්. හය වසරෙ උනත් තාමත් ළාමක නිසාත් (සෝදගන්න තේරෙන්නෙ නැති නිසා), පාලනය කරගන්න බැරි තරමට අසනීපය තදට තිබුණ නිසාත් ගවුමෙයි, කකුල් වලයි හැම තැනම මළද්‍රව‍ය ගෑවිලා.

ඉතින් මොකද කරන්නෙ, අපේ ගුරු තුමීලා එයාව හේදුවලු. ඉහළ පන්තියක ළමයෙක් ළඟ පාත ගෙදරකට යැවුවලු ගවුමක් ගේන්න.
මෙයාට හරියන පාට ගවුමක් ගෙනාවලු. දැන් දරුව හොඳටම දුර්වල වෙලා. කොහොමහරි ගෘහ විද්‍යා කාමරෙන් කෝපි එකක් හදල දුන්නලු. නියෝජ්‍ය විදුහල්පතිතුමා උපදෙස් දුන්නලු ගෙදර ගිහින් ඇරලවන්න කියලා.

අපේ අම්මයි, තව ගුරුතුමියකුයි ත්‍රී-වීල් එකක් ගෙන්නගෙන මේ දරුව එක්කගෙන ගියාලු. හැතැප්ම 6ක් විතර එහා, ධීවර ගම්මානෙක ගොඩක්ම දුප්පත් ගෙදරක්ලු. පොල් රුප්පාවක් මැද කරදිය සුවඳ හමන තැනක්ලු. (මට මැවිල පෙණුන කියනකොට.)

යනකොට දරුවගෙ අම්ම, ලොකු අක්කත් එක්ක කොහු අඹරනවලු. කට්ටිය දැකපු ගමන් මෙයාල හිතුවෙ වෙන දෙයක්. ඇයි උදේ සුදු ගවුමක් ඇඳගෙන ගිය දරුව දැන් ඉන්නෙ පාට ඇඳුමෙන් නෙ.
එයාලට කාරණේ පැහැදිලිකරල දුන්නමලු සැනසුම් සුසුමක් හෙළුවෙ. ගුරුවරුන්ට නොසෑහෙන්න ස්තුති කරල ඇත්තම කිවුවලු.

"අනේ නෝනෙ. තේ එකක්වත් හදල දෙන්න ගේ හරියෙ අඩුම කුඩුම නෑ. මෙයාලගෙ තාත්ත මූදු ගිහින් දැන් දවස් දෙකක් වෙනව. මේකි ඊයෙ රෑට කෑවෙත් නෑ. අද උදේටත් නොකා ගියේ."

කොහොමහරි දරුව හොඳට බලාගන්න කියල අම්මල ආපහු ඉස්කෝලෙට ආවලු. ත්‍රී-වීල් එකට ගෙවපු රු.600 අපේ අම්මගෙ අතින්.
ඔය එක සිද්ධියක් විතරයි. ඔය වගෙ ඒව අනන්ත ඒ වගෙ ඉස්කෝලවල වෙනවලු. සමහර දවසට එක වසරෙ දරුවො වැසිකිළි ගියාම එයාල සෝදන්න වෙන්නෙ ප්‍රාථමික පන්ති භාර ගුරුතුමියටලු.

අපේ අම්ම අනන්ත ළමයින්ට ගෙදරින් කන්න හදාගෙන යනව. සල්ලි වලින්, පොත් පත් වලිනුත් උපකාර කරල තියෙනව, දැනටත් කරනව. දුප්පත් පාස්ල්වල ගොඩක් ගුරුවරු එහෙමයි. 

මම මේ සටහන තිබ්බෙ මේ දවස්වල ගුරුවරු ගැන වැඩිපුර කතාවෙන හින්ද. හේතුව දන්නව ඇතිනෙ.

තව කියන්න දේවල් අනන්ත තියෙනව අපේ උදාර ගුරු පරපුර ගැන. විශේෂයෙන්ම දුෂ්කර පාසල්වල ගෙවෙන ජීවිත ගැන.

ජීවිතේ ලස්සනම තරුණ කාලෙ ඈත දුෂ්කර පළාතක අවම පහසුකම්වත් නැතුව හැම ගුරුතුමෙක්ම, ගුරුතුමියක්ම වගේ සේවය කරනව. අවුරුදු 6ක් කිවුවට ගොඩක් වෙලාවට ඒක ඒ කියන කාලෙට සීමා වෙන්නෙ නෑ. එයාලට තියෙන එකම සහනය ගැමියන්ගෙ අව්‍යාජ ආදරය විතරක්මයි.

ගමන් පහසුකම්වල තියෙන දුෂ්කරතා නිසාම කිහිපවතාවක්ම තමන්ගෙ දරු ගැබ ගබ්සා වුණු ගුරු අක්ක කෙනෙක් මම දන්නව. ඒ එක කතාවක් විතරයි.

කාලකණ්ණි නූගත් දේශපාලුවන් ඉදිරියේ දණ ගහන්න වෙන්නෙ මේ උත්තරීතර මනුස්සයන්ට කියල හිතෙනකොට පුදුම වේදනාවක් හදවතට දැනෙන්නෙ.

මේ සටහන් වලිනුත් කියවෙන්නෙ ඒ වගේ අත්දැකීම්.
ඈත පලාත්වල ජීවිත - 2
ඈත පලාත්වල ජීවිත

ඊනියා රොබෝ

මා කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවකු නිර්මාණය කර තිබෙනු දැක මගේ සමාජවාදී මිතුරකු මෙසේ කීය: "ඔයාලා වගේ අයගෙන් මේ රටට සත 5ක වැඩක් නෑ. රටේ සල්ලි වලින් රටට වැඩදායී යමක් කලොත් නරකද?"

මේ ගැන ඔබේ කාරුණික අදහස් උදෙක්ම බලාපොරොත්තු වෙමි.
මගේ පෞද්ගලික අදහස් දැක්වීම:

මෙම චෝදනාවම මගේ ගුරුදේවයන් වන ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර මහතාටද එල්ල වූ බව දනිමි. ඔහුගේ බිම් බෝම්බ ඉවත්කරන රොබෝ යන්ත්‍රය මෙවැන්නන් විසින් නම් කරනු ලැබුයේ "ඊනියා සාම රොබෝ" යනුවෙන් යයි මට මතක තිබේ.

බැලූ බැල්මට මෙය සාධාරණ තර්කයක් හා සත්‍යයක් සේ පෙනී ගියද, මෙහි මෙවැන්නන් නොදකින පැත්තක් ඇත. එනම් විද්‍යාඥයා යන පුද්ගලයා, එක් ජාතියකට හෝ භෞමික කලාපයකට අයත් කෙනෙකු නෙව, මුළු මිනිස් සංහතියටම අයත් මානව සම්පතක් යන්නයි. 

අපේ මිත්‍රයාට අමතක වූ දෙයක්නම් මිනිස් ඉතිහාසයයේ පළමු වතාවට මනුෂ්‍යයෙකු සාර්ථකව අභ්‍යාවකාශ ගතකරන ලද්දේ සමාජවාදී සෝවියට් දේශය බවයි. ඒ යූරි ගගාරීන් ය. සමාජවාදී රටවල විද්‍යාත්මක පර්යේෂණ හා විද්‍යාඥයින් දිරිමත් කරන්නේ කෙසේදැයි කරුණාකර ඔබේ ළිංමැඩි චින්තනයෙන් මිදී බලනු මැනවි.

සමාජයේ සෑම මනුෂ්‍යයයෙකුගේම සියළුම මූලික අවශ්‍යතා 100% සම්පූර්ණ කිරීමෙන් අනතුරුව විශ්ව ගවේශනය, කෘතිම බුද්ධිය ආදී මිනිස් සංහතියේ ප්‍රගමණයට දායක වන පර්යේෂණවල නියැලෙන සමාජවාදී රටවල් ඇත්දැයි නොදනිමි. එය එතරම් කල් දමනු ලැබුවේ නම් මේ තරම් විද්‍යාව දියුණු අවධියකට පැමිණීමට හැකියාවක් තිබේද යන්න මසිතේ කුකුසක් ජනිත කරවන්නේ නිතැතිනි.

රටට හා වර්තමානයට වැඩදායී නව නිර්මාණ බිහි කළ හැකිනම් වඩාත් අගනේය, එහෙත් ඔහුගෙන් සත 5ක වැඩකට නැතැයි කීම කුහක කතාවකි. සරල උදාහරණයක් මගින් මෙය පැහැදිලි කර දිය හැකිය.
අද වන විට ඩිජිටල් තාක්ෂණයේ ඵල නෙළන්නේ නැති අයෙක් සොයාගැනීමට නොහැකි තරම්ය. කොටින්ම ජංගම දුරකථනයක් භාවිත නොකරන ලාංකික සමාජවාදියෙකු පවා සොයාගැනීම උගහටය. නූතන ජංගම දුරකථනය යනු ඩිජිටල් තාක්ෂණයෙන් පණගැන්වෙන උපාංගයක් බව අපේ සමාජවාදී අයියලා නොදන්නවා ඇත.

ජෝර්ජ් බූල් (George Boole) නම් ඉංග්‍රීසි ජාතික ගණිතඥයා, බූලියන් වීජ-ගණිතය (Boolean algebra) සොයාගත්තේ 1847 නම් ඈත ඉතිහාසයේය. නමුත් කිසිවෙකුත් එය ප්‍රායෝගිකව යෙදිය හැකි අවස්ථාවක් නුදුටු හෙයින් එය සියවසකට අධික කාලයක් හුදෙක් සෛද්ධාන්තික සංකල්පයක් ලෙස පමණක් පැවතුණි. එහෙත් ඉන් සියවසකට පසු ට්‍රාන්සිස්ටරය සොයාගත්පසු ඩිජිටල් නම් තාක්ෂණය කළ එළි බැසීය. බූලියන් වීජගණිතය නොමැතිව ඩිජිටල් තාක්ෂණය හැසිරවිය හැකිද නොහැකිද යන්න දැනගැනීමට වෘත්තීය ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවෙක් වීමට අවැසි නැත. නූතන ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ තාර්කික ද්වාර (Logic Gates) පිළිබඳව දැනුම තොල ගා සිටීම පමණක්ම සෑහේ.

අයින්ස්ටයින් කී මෙලෝ මළදානයක් ඔහුගේ මරණයෙන් පසුද දශක ගණනාවක් යනතුරුම මෙලෝ යකෙකුට තේරුනේ නැත. එහෙත් මිහිපිට සිදුවන සෑම විශ්ව ගවේශණාත්මක කටයුත්තක්ම සහ සෑම න්‍යෂ්ඨික බලාගාරයක්ම ඔහුගේ අසාමාන්‍ය පරිකල්පන ශක්තිය මත පදනම්ව දුවනු ලබයි.

විද්‍යාඥයෙකු අද දවසේ උපදවනු ලබන දැනුම, ප්‍රයෝජනවත් වන්නේ කුමන ජාතියටද, කුමන කාලයටද යන්න එහි වටිනාකමෙන් ස්වායත්ත වන බව ඉතිහාසය විසින් සාධනය කරනු ලැබ ඇති අවස්ථා බොහෝය. කවදා, කිසියම් ජාතියක්, එම දැනුම මත පදනම්ව මානව සංහතියේ ප්‍රගමණය උදෙසා යම් තාක්ෂණයක් නිපදවනු ඇත්දැයි පේන කීමට නොහැකිය. එහි වටිනාකම කොහොමත් එහි ගැබ්ව ඇත. සිදුවන්නේ මිනිසුන් එය වටහා නොගැනීම පමණකි.

තවත් යමක් මගේ පාඨකයින්ගේ දැනුම වශයෙන් එක් කරනු කැමැත්තෙමි.

රොබෝ තාක්ෂණයේ පියා වශයෙන් සැලකෙන්නේ විද්‍යාඥයෙකු හෝ ඉංජිනේරුවෙකු නොව, නාට්‍යකරුවකු වූ කලාකරුවෙකු යයි කිවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඔව්. එය එසේය. ඔහු R.U.R. වේදිකා නාට්‍යය නිර්මාණය කළ චෙක් ජාතික කැරෙල් කැපෙක් (Karel Čapek) ය. කලාකරුවකු යනු සංවේදී මිනිසකු බව ඔබ දනී. ඔහු විසින් සමාජයේ දැවෙන ප්‍රශ්නයක් ලෙස දුටු ඉතා වෙහෙසකර වූ සහ අවදානම් සහගත වූ රැකියාවක් දරන කම්කරු වෘත්තිකයා ඉන් නිදහස් කිරීමට ඔහු දුටු විකල්පය මෙම මිනිස් යන්ත්‍රයයි. 



මෙමගින් මිනිසුන්ගේ රැකියාව අහිමි වී එයින් අර්බුධයක් පැණ නගිනු ඇතැයි මේ තාක්ෂණය දෙස අසුබවාදීව බලන්නන් යොමු කරන තර්කයයි. අප විශ්වවිද්‍යාලයේදී ද නොවැරදීම ඇසුණු මේ පැණයට අපූරු පිළිතුරක් දීමට ආචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර මහතා සමත් විය.
ස්වයංක්‍රීය ටිපර් රථයක වීඩියෝවක් ගෙන හැර දැක්වූ ඔහු "මොකටද අපි ඇමරිකානුවෙකු මේ වගේ දූලි පිරුණු කටුක පරිසරයක සේවයේ යොදවන්නේ? අපිට ඔහුට වඩා හොඳ අධ්‍යාපනයක් හා ජීවන තත්වයක් දිය හැකිව තිබියදී...අපි ඒ වෙනුවට ඒ වැඩේ යන්ත්‍රයකට භාර දෙනවා. යන්ත්‍රය ඔහු වෙනුවෙන් උපයනු ඇති." (එවක ඔහු හාවර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධව සිටියේය.)

මා නැවතත් අසන්නේ මා කම්පනයට පත්කළ මේ පැනයයි.

විද්‍යාඥයකු යනු එක් ජාතියකට හෝ දේශයකට හෝ වර්තමානයට පමණක් අයත් නොවන විශ්වීය සම්පතක් බව මේ පටු වින්තනධාරීන් වටහා ගන්නේ කවදා ද....? 

Sunday, June 16, 2013

ජීවන වියදම

ජීවන වියදම පිළිබඳව මනා වැටහීමක් ලැබීමට නම් අගනුවර (සරසවි පරිශ්‍රයෙන් පරිබාහිරව සාමාන්‍ය ජනයා ගැවසෙන පරිසරයක.) ටික දිනක් හෝ ගත කළ යුතුය. අද උදෑසන මා පිළියන්දල බෝකුන්දර නගරයේ දිලිඳු ආපන ශාලාවකට ගොඩ වැදී උදෑසන අහර පිණිස, අල්ලක ප්‍රමාණයකට නොවැඩි තුනී පොල් රොටී 4ක් හා සීනි නොයෙදූ කහට කෝප්පයක් ගතිමි. (තිබූ කුසගින්නේ තරමට එයද කැළණි පාළම යටින් පොල් ලෙල්ලක් ගියා හා සමානය!) අවසන එහි මිළ ඇසූ මට ඇතිවූයේ කළකිරීමකි. එය රු. 92/= (20x4+12) විය. 

ඔව්. එය මවැන්නෙකුට දරාගත නොහෙන තරම් මිළක් නොවන බවද, අද කාලේ භාණ්ඩ මිළේ හැටියට එය අරුමයක් නොවන බවත් ඔබ පවසනු ඇත.

එහෙත්, මා කල්පනා කළේ එය රු. 3,000 කට ආසන්න දෛනික ආදායමක් හිමි මට පවා හොඳටම දැනෙන ගණනක් වූයේ නම්, දිනකට රු. 1000ක පමණ ආදායමක් ලබන, සිවු දෙනෙකුගෙන් සමන්විත පවුලකට එය කෙසේ දැනෙනු ඇත්ද කියායි. 92x4=368, එනම් උදෑසන ආහාරය සඳහා පමණක් ඔවුනට සිය ආදායමෙන් 36.8% ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ. දිවා හා රාත්‍රී ආහාරය පිණිස මෙම පරිසරයේ එක් අයෙකුගේ අවම වියදම රු. 80x2, සිවු දෙනෙකු සඳහා සම්පූර්ණ දෛනික වියදම ආසන්න වශයෙන් (60+80+80)x4= රු. 880.00 ක් වේ. එනම් මුළු ආදායමෙන් 88% කි!. 

අප මේ කතිකාව කරන්නේ අප සමාජයේ සාතිශය බහුතරයකගේ මාසික ආදායම රු. 30,000 (එනම් දෛනික ආදායම රු.1000)නොඉක්මවන සන්දර්භයක බව අමතක නොකරනු මැනවි!.
එනම් මේ රටේ අති බහුතරයකට සිය ආදායමෙන් 90% පමණ ආහාර නම් ප්‍රාථමික අවශ්‍යතාව සඳහා පමණක් දැරීමට සිදුවේ නම් අනෙක් අවශ්‍යතා ගැන කවර කතාද? කොටින්ම, අධ්‍යාපනය සඳහා 6% ඉල්ලා සිටි සරසවි ඇදුරන් වන අපි සමඟ හදවතින් බැඳී සිටි මේ රටේ සුවහසක් ජනතාවගේ මුළුතැන්ගෙයි ලිප්බොක්කේ තත්ත්වය එසේය. මෙය ඛේදවාචකයක් නොවන්නේද...?

මට කීමට අවැසි වූ සත්‍ය කතාව මෙය නොවේ.

පණ නල ගැටගසා ගැනීම පිණිසම සිය ආදායමෙන් වැඩි කොටස වෙන්කරන්නට සිදුව ඇති ජාතියක්, අධ්‍යාපනය, විද්‍යාත්මක පර්යේෂණ උදෙසා මුදල් වෙන් කිරීම මොන තරම් නම් විශිෂ්ට කැපකිරීමක්ද? ඒ කැපකිරීම කිරීමට සූදානම්ව එක්සිත්ව සිටින්නේ ඉහත කී ජනතාව වීම සුවිශේෂිතය. මොනතරම් නම් ශ්‍රේෂ්ඨත්වයක්ද? 
ඒ ගැන සිතනා මොහොතක් පාසා සිත බරව යයි.