Thursday, March 28, 2013

තාවකාලික සමුගැන්ම......

"කවුරුහරි ගිහින් වයිට්බොර්ඩ් මාකර් එකක් ගේන්න....ඉක්මනට...!" 

මම තරහෙන් කෑ ගහල කියන්නෙ මගෙ සහය ආචාර්ය මණ්ඩලයට...

"ශිහ්...හිතට ආපු අදහස අමතක වෙන්ට කලින් ලියන්න විදියක් නෑනේ..." 

ඩිමෝ මල්ලි කෙනෙක් කෝල් එකක් ගන්නව ඔෆිස් එකට...
එයා දුවගෙන එනව...පෑන් මිටියකුත් අරගෙන...එහා තියෙන මැත්ස් බිල්ඩින් එකේ අපේ ඔෆිස් එකේ ඉඳල එයාට එන්න ගතවෙන්නෙ මිනිත්තු භාගයක් විතරයි...
කොහොමත් එයා අඩි හයක් විතර උසයි...දිග අඩි තියල එනව ඇති...

සමහර වෙලාවට කළබලේ නිසා "තෑන්ක් යූ" කියන්නත් අමතක වෙනව....

සමහර දවසට වැඩ ඉවර වෙලා ගුරු විවේකාගාරෙ ඉඳල කාර් එකට යනකොට වොෂ් රූම් ගියොත් හොඳයි කියල හිතෙනව...

දැන් හයත් පහුවෙලා...වොෂ් රූම් එක ලොක් කරලා...මම ඔෆිස් එකට කතා කරනව..

"දොස්තර කිවුවනෙ කොලෙස්ටරෝල් එන්න හදන්නෙ, එක්සයිස් කරන්න කියල. ඒක නිසා බීච් එකට ගිහින් ටිකක් ඇවිදලම ගෙදර යනව..." යතුර අරගෙන ආපු එයාට මම කියනව.
"මම යතුර ගෙනත් දෙන්නම්...?"

"කමක් නෑ සර්....මම අරන් යන්නම්..."

ඔෆිස් එකේ අපිට දීල තියෙන ෆොටෝ කොපි මැෂින් එක ගොඩක් සංකීර්ණයි...මට තාම හුරු නෑ.
සමහර වෙලාවට මට ෆොටෝ කොපියක් ගන්න ඕන උනාම ඒක පිස්සු කෙළිනවා...
"අනේ විමල්. මෙන්න මේක බලන්න."
"කෝ දෙන්න සර්.."

මැෂිමෙන් එළියට ආපු කඩදාසි ගොන්න එකතු කරගෙන ඔක්කොටම එකපාර කටු ගහන්න මම අසාර්ථක උත්සාහයක යෙදෙනව...

"ඕක පොඩි ස්ටෙප්ලර් එකෙන් ගහන්න බෑ සර්...ඝණකම වැඩියි....කෝ දෙන්න..."
එයා කඩදාසි ගොන්න ලස්සනට එකතු කරල තඩි ස්ටෙප්ලර් කටුවක් ගහල මට දෙනව...

ජීවිතේ හැම දෙයක්ම තාවකාලිකයි කියන ධර්මතාවය ඔප්පු කරමින් එයා අද විශ්වවිද්‍යාලයෙන් අස්වෙලා යනව...
මොනව කරන්නද විමල්...මම ඇතුළු ඔබේ සහෝදර කාර්ය මණ්ඩලය හදවතින්ම ඔබට සුභ පතනවා....!

Monday, March 25, 2013

මූ දැනටම මෙහෙමනම් ලොකු වුනාම කොහොම වෙයිද...?

50 වැනි සංවේදී සටහන.


සෙල්ලම් බඩු පොළොවේ ගහන පොඩි එකා ඇත්තටම මොන වගේ වෙයිද...?

මේ ළඟදි තාත්තගෙ යාළුවෙක්ගෙ ගෙදර ගියා වුවමනාවකට. වැඩිය දැකල නැති අමුතු දර්ශනයක් දැකල මම පුදුම වුනා. පොඩි ළමයි නැති, තරුණ ළමයි ඉන්න ඒ ගෙදර කැබිනෙට්ටුවෙ (පාර්ලිමේන්තුවෙ තියෙනව වගෙ එකක් තමයි. හරයක් නැති සෝබන බඩු පුරවල.), ඒ කියන්නෙ ෂෝ කේස් එකේ ඔය සම්මාන, සමරු ඵලක, විසිතුරු බඩු එක්කම සෙල්ලම් බඩු ගොඩකුත් තියෙනව දැක්කා. සෙල්ලම් වාහන වගෙ එව්වා. ටිකක් අසාමාන්‍ය නිසා මම ඇහුවා ගෙදර කෙනෙක්ගෙන්.

"ඔය පුතාල පොඩි කාලෙ උපන්දින වලට හම්බෙච්ච ඒව"

මෙහෙම කියපු ඒ අම්මා, මේ අහවල් දරුවගෙ අහවල් උපන්දිනේට අහවලා තෑගි දීපු එක ආදී වශයෙන් දිග විස්තරයක් කළේ හරිම ආඩම්බරෙන්.

මට මතක් වුනේ මගෙ පුංචි කාලෙ. මම පොඩි කාලෙ අපේ ගෙදර කන්දක් උසට තිබුණ, සෙල්ලම් බඩු නොවෙයි, ඒවගෙ සුන්බුන් අංගනයක්. ගෙනාපු සෙල්ලම් බඩුවක උපරිම ආයු කාලය මිනිත්තු කිහිපයක් විතරයි. හැබැයි එහෙම කරපු නිසාත්, මගේ ආදරණීය තාත්තා ඒකට බැන බැන ඉන්නෙ නැතුව ඒ ගැන ආඩම්බර වෙලා තව තවත් ගෙනත් දුන්න නිසාත් තමයි මම අද මේ තැන ඉන්නෙ. මොකද්ද ඒ හරුපෙ කියල බලනව ඇති....?

මේක ගොඩක් දෙමාපියො නොදැකපු පැත්තක්. තමන්ගෙ දරුවා සෙල්ලම් බඩු පොළොවෙ ගහල කඩනවනම් ගොඩක් අයට දරුවා ගැන ඇතිවෙන්නෙ එච්චර ප්‍රසන්න හැඟීමක් නොවෙයි. මහ පෝරිසාදයෙක් කියල වගේ හැඟීමක්. ඒත් ඇත්තටම දරුවා ඒක කරන්නෙ ඉගෙන ගන්න නම්? කුතුහලය නිසා නම්...? 

ඉස්කුරුප්පු නියං පාවිච්චි කරල ඒක ගලවන්න එයාල දන්නෙ නෑ. ඒක නිසා අමුතු සද්දයක් එනවනම්, වයින් කරන එකක් නම්, මැටි ගොඩ වගෙ ඔහෙ තියෙන්නෙ නැතුව මොකක්හරි විදියකට ක්‍රියාකාරී වෙනවනම් බොහෝ විට කොළු පැටවු සෙල්ලම් බඩු දෙපළු කරන්නෙ ඒක ඇතුළෙ තියෙන යාන්ත්‍රණය බලන්න, තියෙන කුතුහලයට.
"මොකාද බොලේ මෙක ඇතුලෙ ඉඳගෙන දඟලන එකා" කියල බලන්න මිසක් ඒක විනාශ කරල පහත් සතුටක් ලබන්න නොවෙයි, 

ගොඩක් වෙලාවට. අවාසනාවකට අපේ දෙමාපියො / නෑදෑයො 

'අනේ ෂෝයි....!' 

කියල කියන්නෙ එහෙම ගවේශණශීලී මනසක් තියෙන දක්ෂ දරුවන්ට නෙමෙයි, වැඩි හාවක් හූවක් නැතුව ඔහෙ එකතැන ලැගල ඉන්න ලෙඩ්ඩුන්ටනෙ. 

මතක තියාගන්න, අද සෙල්ලම් බඩු කඩන ඔබේ පොරිසාද පැටියා අනාගතේ ලෝකෙට නව නිපැයුම් දායාද කරන දක්ෂ ඉංජිනේරුවෙක්, මහා විද්‍යාඥයෙක් නැත්නම් සමාජයේ දැවෙන ප්‍රශ්න තාක්ෂණිකව විසඳන ඉටුදෙවියෙක් වෙන්න පුළුවන්. 
(ඒකට ඉතින් කැම්පස් යන්නම ඕනෙ නෑ. අයින්ස්ටයින් කැම්පස් ගියෙ 4 වෙනි අවස්ථාවෙ, සරසවි පිවිසුම් විභායෙන් අවම ළකුණු අරගෙන.) 

මේක විහිළුවක් නෙමෙයි, අත්දැකීමෙන් කියන්නෙ,  ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ලංකාවෙ කීර්තිමත්ම සරසවියෙ රොබෝ ඉංජිනේරු විද්‍යාව ගැන පර්යේෂණ කරන්නට මට අවස්ථාව උදාකිරීමේ ලොකුම ගෞරවය ලැබෙන්න ඕනා මගේ අතින් කැඩුණු සෙල්ලම් බඩු වලට. (සහ ඒක 'ත්‍රස්ථවාදී' ක්‍රියාවක් විදියට නොදැකපු තාත්තට.)

ප්‍රථම උපාධියේ කණ්ඩායම් ව්‍යාපෘතියට අපි කළේ රෝවරයක්, ඒ කියන්නෙ රොබෝ වාහනයක් හදපු එක. ඒකෙ ගොඩක් සංකීර්ණ යාන්ත්‍රික පද්ධති සැලසුම් කළේ මම. සෛධාන්තිකව ඉගෙන ගත්ත දේවල් වලට වඩා මට එතනදි ගොඩක්ම ප්‍රයෝජනවත් වුනේ මම අවුරුදු 4-5 දි ඉඳලම සෙල්ලම් බඩු වලදි දැකල පුරුදු යාන්ත්‍රික උපක්‍රම. 

උදාහරණයක් විදියට, කරකැවෙන අක්ෂයක දිශාව අංශක 90 කින් වෙනස් කරන සිද්ධාන්තය මම අවංකවම ඉගෙන ගත්තෙ අවුරුදු 4 දි. තාත්ත හිඟුරක්ගොඩ ගියපු දවසක තල්ලු කළාම උඩ පෙති කැරකෙන හෙලිකොප්ටරයක් දැකල ගෙනාව. (ඒ දවස්වල අපි හිටියෙ පොළොන්නරුවෙ. අපේ අම්ම තාත්තා දෙන්නම ගුරුවරු. දුෂ්කර සේවයෙ හිටියෙ. ) මට මේක දැකල හරිම පුදුමයි. තල්ලු කරනකොට රෝද කැරකෙන්නෙ පොළොවට සමාන්තර අක්ෂයක, හැබැයි කැරකෙන පෙති සම්බන්ධ වෙලා තිබුණ කූර ඊට ලම්භකයි. මම බැලුවා 
"යකෝ මේක මාර කෙළියක්නෙ. මෙහෙම වෙන්නෙ කොහොමද...? ගලවලා බලන්න ඕනෑ."  

මම කළේ ඉතින් වැඩේ දීපු එක. එවෙළෙම පොළොවෙ ගහල දෙපළු කළා. වැඩේ හරි. 
"එහෙනම් මේකයි හොරේ ආ....?" 



අපේ ප්‍රොජෙක්ට් එකේදි ඇත්තටම මම දැම්මෙ එදා දැකපු තියරිය. මේක ඇත්තම ඇත්ත කතාවක්. 

දුන්නක ශක්තිය ගබඩා කරන්නෙ, පස්සෙ ඒ ශක්තිය හිමීට ප්‍රයෝජනයට ගන්නෙ කොහොමද කියල මම ඉගෙන ගත්තෙ අවුරුදු 5 දි.  මගේ අවුරුදු 5 උපන්දිනයට චූටි බාප්පා තෑගි කළ වයින් කරන මෝටර් බයිසිකලෙන් තමයි ඒ තියරිය බොක්කටම දාගත්තෙ.




එදා ඒක කැඩුවම ගොඩක් අය මම අනාගතයෙදි සමාජ විරෝධියෙක් වෙයි කියල අනාවැකි පළ කළා. වැරදියි. මම අද කීර්තිමත් සරසවියක ආචාර්යවරයෙක්.   

ඒක ලොකු කමකට කියන දෙයක් නෙමෙයි, ඊටත් වඩා අඩු වයසක ඉන්න ඔබේ දරුවා, ඊටත් වඩා සංකීර්ණ දේවල් ඉගෙන ගන්නවා වෙන්න පුළුවන් ඔබ හීනෙන්වත් නොහිතුවට. 
දැන් ඉන්න පොඩි එවුන් කොහොමත් හෙන ඇඩ්වාන්ස්නෙ. (මේ කතාව මාර ෆන්, හැබැයි කියවල බලන්න මම කිව්වෙ බොරුද කියල...!)
මේ ලෝකෙ බිහිවෙච්ච ඕනෑම දක්ෂ නව නිපැයුම් කාරයෙක්ගෙම, විද්‍යාඥයෙක්ගෙම ළමා ලෝකෙ ජීවිත කතාව ඔහොමයි. 

ඉතින් පටන්ගත්ත තැනින්ම අවසන් කරන්නම්....
මම හිතපු විදියටම, අර ගෙදර තරුණයො දෙන්න කිසිම නිර්මාණශීලී දෙයක් අද වෙනකම් කරල නෑ. කරන්නෙත් නෑ. ජීවත් වෙන්න ඕනවට මොකක් හරි රස්සාවක් කරල ජීවත් වෙන ඔහෙ පාවෙන ඒකාකාරී ජීවිත. ජීවත් වුනත් කිසිම ජීවක් නෑ වගෙයි මට නම් පෙණුනෙ. ඒක එයාලගෙ වැරැද්ද නෙමෙයි. කොහෙද එයාලගෙ අම්මලට ලොකු වුනේ ඊනියා තැන්පත් බව මිසක් දරුවෙක්ගෙ නිර්මාණශීලී හැකියාවන් ඔපදාන්න නෙමෙයි. ලොකු පඩියක් තියෙන මොකක් හරි රස්සාවක් කරල ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන කසාදයක් කරගත්තම ඔක්කොම හරි කියන සමාජයක එක අතකට එහෙම වෙන එක අරුමෙකුත් නෑ. 

තව දෙයක් මම දැක්ක. මේකත් මම ගොඩක් තැන්වල දැකපු එකක්. ගෙදර අම්ම තාත්තයි, දරුවොයි අතරෙ අපේ ගෙදර තරම් සමීප සම්බන්ධයක් නෑ. ඒකට මම දැකපු ප්‍රධාන හේතුවක් තමයි දෙමාපියො දරුවන්ට කතාකරන්නෙ නම කියල. ඒක බටහිරට හරියන්න පුළුවන්. මොකද එහේ කරදඬු උස්මහත් වුනාට පස්සෙ ළමයි වෙනම ලෝකෙක, දෙමාපියෝ වෙනම ලෝකෙක. "පුතා" "දුව" කියල අමතනව තරම් ළයාන්විත බවක් නෑ නම කියල කතාකරනකොට. මොකද්ද එතකොට පිට මිනිස්සුයි තමන්ගෙ අයයි අතරෙ තියෙන වෙනස...? (මේක නම් මගේ පෞද්ගලික අදහසක්.) දශක 3කට ආසන්න මගේ ජීවිතේ මට අපේ ගෙදර අය කවුරුවත් අද වෙනකම් නම කියල කතා කරල නෑ. ඒ නිසාද මන්දා මට කවදාවත් ගෙදර මිනිස්සුන්ට බොරුවක් කියන්න, කරන්න බෑ.   

මම මගේ කතාව කිව්වම ඒ අම්මා නොකිය කිවුවෙ මෙහෙම දෙයක්....
"කොහෙද යන පණ්ඩිතයෙක්....! තාම කසාද බඳින්නවත් හිතලවත් නැති එකෙක් එනව මෙතන අපි ළමයි හදන හැටි කියල දෙන්න...!"

Sunday, March 17, 2013

ආ...වැවද...? මම සල්ලිවලට ගත්තා....!


එවක මම අගනුවර මෘදුකාංග සමාගමක සේවය කළෙමි. මේ සිද්ධිය මා එයට සම්බන්ධවීමට ප්‍රථම සිදුවූවකි. රාත්‍රියක නිදිවරන විට ඇදුනු කතාවකි. මෙය කියු ජ්‍යේෂ්ඨ සඟයා කෙප්ප කෙළින හාදයෙක් නම් නොවේ. 

වැව් බැඳි රාජ්‍යයේ ප්‍රමුඛපෙලේ ව්‍යාපාරික සමාගමකට අවශ්‍ය මෘදුකාංග පද්ධතියක් අප ආයතනය විසින් සම්පාදනය කර ඇත. එහි ප්‍රමුඛ ව්‍යාපාරයක් වනුයේ ස්වේත වර්ණ මලක නම් දරන හෝටලයකි. 
(එනමින් බස් ප්‍රජාව අතර බෙහෙවින් ජනප්‍රිය ගායකයෙකු කැසට් පටයක්ද නිකුත් කර ඇත!)

එය පිහිටා තිබෙන්නේ පෙර රජ දවස නිර්මිත විශිෂ්ඨතම නිර්මාණයක් වන සාගරයක නම් දරන සුප්‍රසිද්ධ වැවක් අද්දරය. හිමිකරු සිය සොහොයුරාගේ 'ස්ටාර්' එක හොඳ වීම හෙවත් ලංකාවේ ඇමති කෙනෙක් වීම හේතුවෙන්ම දැන් අති සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට වරම් ලද්දෙකි. 

සාමාන්‍යයෙන් මෘදුකාංග පද්ධතියක් මූලික අධ්‍යයනයේ සිට සම්පූර්ණ කිරීම දක්වා මාස කිහිපයක් ඇදේ.
මූලික අධ්‍යයනය සඳහා මගේ සඟයා එහි යන්නට සැරසුණු විට අප සමාගමේ මුළ් තැනද විනෝද චාරිකාවක් ලෙස ඔහු හා එක් වුණේලු.
මාස කිහිපයකට පසු පද්ධතිය සම්පූර්ණ වූ පසු එහි සාර්ථකත්වය ගැන සතුටු වූ ඉහත කී හෝටලයේ හිමිකරු අපේ සෙට් එකට පාටියක් දුන්නේලු.

වැව අයිනේ සඳලුතලයක කට්ටිය සෙට් වුනේලු. හැබැයි අපේ ලොක්කට (අපේ මෘදුකාංග සමාගමේ ප්‍රධානියා) හෙන අවුල් ලු.
බැරිම තැන මිනිහ ඇහුවලු හෝටලේ හිමිකරුගෙන්

"සර්...අපි කලින් එනකොට මෙතන තිබුනෙ වැව නෙ.....?"

"ආ...වැවද...? මම සල්ලිවලට ගත්තා....!"  

Friday, March 15, 2013

අඩුජාති බල්ලා


මේ ළඟදී මගේ නැගෙණිය ඇගේ යෙහෙළියකගේ නිවසට ගොස් සිටියදී හොඳ පෙනුමැ'ති සුනඛ පෝතකයෙක් (බලු තඩියෙක්) ආවේලු. මා මෙන්ම සතුන්ට ඉතා ලැදි මගේ නංගි කාරි බල්ලා සුරතල් කරන්නට ගියේ ලු. එවිට නිවැසි වෛද්‍ය සිසු මිතුරිය ඇය වලකමින්...

"ඕකව වැඩිය ගණන් ගන්න එපා...ඌ අඩුජාති බල්ලා...!" කීවේලු..!

පුදුමයට පත්වූ ඇය අසා ඇත්තේ එසේ කියන්නේ ඇයි? කියා ය. එහිදී ඇයට විස්තර කර දී ඇත්තේ ඌ ඔවුන්ගේ අසල්වැසියාගේ බල්ලා බවත්, ඔවුන් අඩුජාති (අඩු කුලේ) මිනිසුන් බවත්ය...!

නංගී ගෙදර ඇවිත් මේ කතාව කිව්වේ පෙරළෙමින් සිනාසෙමිනි. 
"මං නං උගේ ජාතියෙ කිසිම අඩුවක් දැක්කෙ නෑ...ඌ ජර්මන් ෂෙප(ර්)ඩ් හොඳ බල්ලෙක්....!"

ගොතන ලද හිතළුවක් නොව, සම්පූර්ණ සත්‍යයක් වූ මේ පුවත ගන අසා අපි සිනාසෙමුද..? වැළපෙමුද...? 
වැළපෙන්නේ කුමකටදැයි ඔබ අසනු ඇත. 21 වන සියවසේදීත් කුළ බේද නම් වූ ගෝත්‍රික හණමිටි සංකල්ප කරේ තබාගෙන දුවන අපි, අපි ගැනම ලැජ්ජා විය යුතු නොවේද...?

අපේ ගමේ පන්සල් 2ක් ඇත. ඉන් එකකට සරුය. අනෙක දුප්පත්ය. එහෙත් ඒ දෙකම වෙන් වී ඇත්තේ එකම එක වැටකිනි.
ලොකු පන්සලේ සිට පෙරළා නිවසට එන දිනක (එවක මම වයස 12ක පමණ දරුවෙකි.) පියාගෙන් ඇසුවේ "අපි නොයන අර අනෙත් පන්සල අච්චර දුප්පත් ඇයි කියාය."

එහිදී ඔහු හෙළිකළ දේවල් අසා මම පුදුමයට පත්වීමි. පොඩි පන්සල අඩු කුළේ අයට වන්දනා කිරීමටය. කුළ බේදයට එළව එළවා පහරදුන් බුදුන්ගේ දහම ඇදහීමටත් බේදයක්...!
තාත්තා තවදුරටත් කියා සිටියේ දරුවකු මහණ කිරීමට, සංඝ නායක කම් ලැබීමට පවා කුළය සලකා බැලෙන බවය..! මොන විහිළුවක්ද එය...?
මම පැණයක් නැගුවෙමි.
"හොඳයි, අඩු කුලේ අයට ලොකු පන්සලට යන්න තහනම් උනාට අනිත් අයට පොඩි පන්සලට යන්න තහනම් නෑනේ...?"
මෙය ම'පියාගේ සිතට තදින් වැදී තිබුණි. (ඔහු හිටපු උග්‍ර සමාජවාදියෙකි. හිටපු කියන්නේ දැන් හොඳ බෞද්ධයෙකු නිසාය.) 

ඊළඟ දානය අප පිරිනමනු ලැබුයේ කුඩා පන්සලටයි. මේ බව ප්‍රශ්නයක් වූ එක්තරා හිමි නමකට ම'පියා කෙටි නමුත් අපූරු පිළිතුරක් දී තිබුණි.

"හාමුදුරුවො බුද්ධාගමේද...?" 

ඇසූ භික්ෂුවට කට උත්තරත් නැති වූ බවය පැවසෙන්නේ...!

මේ කෙහෙල්මල් කුළ භේදය නිසා මම දිනක් දැඩි අපහසුතාවයට පත්වීමි. එකළ මා සරසවි ශිෂ්‍යයෙකි. යම් කිසි හේතුවක් නිසා මිතුරකු මා හා උරණ විය. ඔහු උඩරට පළාතේ කෙනෙකි. ඔහු මට බැණ වැදුනේ "කරාව කාරයා" යනුවෙනි. 

මම අන්දමන්ද වීමි. මේ මොන විකාරයක්ද...?(ඇත්ත වශයෙන්ම මම එහි තේරුමවත් නොදැන සිටියෙමි.) 

මා මිතුරකු එය විස්තර කළේ ය. මා දකුණු පළාතේ අයෙකු නිසා, විශේෂයෙන් වෙරළබඩ නගරයක නිසා මා ධීවර කුළයට අයත් ඇතැයි ඔහු උපකල්පනය කරන්නට ඇති බවය. (කරාව යනු ධීවර කුළයලු!) මගේ මුහුණ අඳුරු වනු දුටු (මට රිදුනේ මා අඩු කුළයෙ කිවු නිසා නොව, 'මාළු කාරයා' කියූ නිසාය.) එතැන සිටි කුල ක්‍රමය ගැන හොඳින් දන්නා වෙනත් මිතුරකු පැහැදිළි කළේ මගේ නාමය අනුව මා 'කරාව' නොව, උසස් යයි සම්මත කුළයක බවය. 

මෙය ඇසූ මට ඇතිවූයේ සතුටක් නොව දුකකි. මෙලෙස කෙනෙකුගේ පවුලේ නාමය අනුව ඔය කියන කුළය නිර්ණය කළ හැකි නම්, සමාජයේ කොතෙකුත් දෙනා අපහසුතාවයට පත්වෙනු ඇත්ද..?
පුද්ගලයා උස්-පහත් වනුයේ කරන කියන වැඩ වලින් මිස ජන්මයෙන් නොවේයැයි බුදුන් වදාළහ. 

එහෙත් පුවත්පත්වල පළවන සියයට අනූ නවයක්ම මංගල යෝජනා (ඔව්, මම ඒවා කියවමි. ඒ කල වයස හරි නිසා නොව 'ආතල් එකක්' ගැනීමටය. මන්ද පුවත්පතේ ලොකුම විහිළු අන්තර්ගත වන්නේ එහිය!) පටන්ගන්නේ 'බොදු/ගොවි' හෝ 'බොදු/.......' යනුවෙන් නොවේද...? ඇතැමුන් කළ වයස පහුවී වළ පයයි ගොඩ පයයි වීත් තවමත් වංශය කබල් ගාති. 

මෙයට මා මිතුරකු දැක්වූ ප්‍රතිචාරය නම් කරන රැකියාව සහ එවැන්නන් ජීවත්වන වටපිටාව, බෝහෝ විට සමකුළ කණ්ඩායම් එකටම ජීවත් වේ. උදාහරණ ධීවරයින්, පුද්ගලයාගේ ගති සිරිත් වලට බලපාන බව නිසා එය හොඳ ගති පැවතුම් ඇති අය තෝරා බේරා ගැනීමට පිටිවහලක් වන බවය. උදාහරණයක් ලෙසට ධීවර කර්මාන්තයේ නියුතු අය තරමක් දරුණු වීම.

එවිට මගේ තර්කය වූයේ එසේනම් බෙර වාදනය කරන අය, රෙදි සෝදන / පරම්පරා ගණනකට පෙර සෝදපු, කුඹල් කර්මාන්තයෙන් දිවි රැකෙන අය, හකුරු කර්මාන්තකරුවන් පහත් යයි සැලකීමේ පදනම කුමක්ද යන්නයි. මොවුහු කිසිදු නීති විරෝධී, සදාචාර හෝ සමාජ විරෝධී හෝ ව්‍යාපාරයක් නොකර සාධාරණයෙන් ජීවත් වන අහිංසකයින් නොවේද...? ඔවුන්ට දීගතල නොදීමේ සාධාරණය කුමක්ද..?

ජනප්‍රිය කලාකරුවකු වූ ජනක් ප්‍රේමලාල් මහතා එක්තරා පිටිසර ගමක නාට්‍ය කණ්ඩායමක් රැගෙන ගියේලු. බෙර වාදනය කරන කෙනා දැඩි ලෙස රෝගාතුර වූ හෙයින් ඔහු එය භාරගෙන සංගීතය සැපයීලු. ඉන්පසු ඔහුට ඒ ගමේ සිටි කාලයේදී ගැමියෙකුගෙන් වතුර වීදුරුවක්වත් නොලැබුණේලු.
ඔහු බෙර වාදනය කරන පරපුරකින් පැවැතෙන්නෙක් නොවේ. ඔහු බෙරය වාදනය කළේ හුදෙක් විනෝදයට සහ අවස්ථානුකූලව එය කළ යුතු නිසාය.

කිසිදු රැකියාවක උස්-පහත් කියා භේදයක් නැත. පහත් වන්නේ එය නීති/සමාජ/සදාචාර විරෝධී නම් පමණකි. එවිට එය මහරජ්ජුරුවන් වහන්සේ කළත් ඔහු පහත්ය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයින් විසින් විරචිත මේ ගේයපද සංකල්පනා සමඟින් මේ සටහනට සමුදෙමි.


බමුණා වුණත් දුදනෙකු නම් බිම හොවනූ...

සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...

හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...

දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...


බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...

දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...

වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...

වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...

video



මදුරු දඟරය


එදින මා සරසවියට ගියේ පර්යේෂණය පිළිබඳ මහාචාර්යතුමාගෙන් උපදෙස් ගැනීමටය. පසුදාට පර්යේෂණ පත්‍රිකාවක් භාරදීමට නියමිතව තිබූ හෙයින් ගෙදර නොගොස් පිළියන්දල නගරයේ මිතුරකුගේ නවාතැනක එදින රාත්‍රිය ගත කිරීමට තීරණය කළෙමි.
කිසිවකුට කරදරයක් නොවන පරිදි, වැඩ අවසන් කළද තවමත් භාවිතයට නොගත් මුළුතැන්ගෙයි මම ලැප්ටොප් පරිගණකය අටවාගෙන වැඩ ආරම්භ කළෙමි.

මා අඩ අඳුරේ සිටියේ ගැඹුරු කල්පනාවකය. සංකීර්ණ සෛධාන්තයක් සාධනය කරමිනි.

නවාතැනේ නිත්‍ය සාමාජික සොයුරෙක් කාමරයට එබී බලා මා වැඩකරනු දැක,
"අය්යේ, හරියට මදුරුවො නේද..?" යි ඇසීය.
මා වටකර දැවැන්ත මදුරු සේනාවක් කඳවුරු බැඳ ඇතිබව මා දුටුවේ එවිටය.
"කොයිල් එකක් පත්තු කළානම් හරි..."
මා කීවේ ප්‍රති-උත්තර වශයෙන් මොනවා හරි කිව යුතු නිසාය.

එසේ කියා මා දිගටම වැඩෙහිම නිරත වීමි. වැඩ කරන විට මට මදුරුවාත් එකය, ඊට වැඩිය ලොකු එකෙකුත් එකය, මොකා කෑවත් මට ගණනක් නැත. අවධානය ඇත්තේ වෙනතක බැවිනි.

ගිණි කූරක් ගසන හඬින් සහ එළියෙන් මගේ අවධානය බිඳිණ. 

ඔහු කොහෙන් හෝ මදුරු දඟරයක් සොයාගෙන පැමිණ ඇත. 
ඔහුගේ කාමරය අල්ලපු එකය. අප කාමර දෙකටම මැදින් එය තැබුවානම් හරිය.
ඉන් පසු මගේ අවධානය යළි දරුණු ලෙස පැහැර ගැනීමට මා කරමින් සිටි වැඩය සමත් විය. යම් කිසි සාධනීය තැනකට එය ගෙනා මම මද විවේකයක් ගැනීමට නතර කළෙමි.

මා පය පාමුළ දැවෙමින් තිබූ මදුරු දඟරය මා දුටුවේ එවිටය.
ඊට බොහෝ ඈතින්, යාබද කාමරයේ එය දැල්වූ සොයුරා මදුරුවන් තලමින් පාඩම් කරනු දුටිමි.

මෙය ආගන්තුක සත්කාරයද...? නොමැතිනම් උතුරා යන මනුෂ්‍යත්වයද...? ඇතැම් විට ඒ දෙකම විය හැකිය....
කොන්ක්‍රීට් වනාන්තරයට පයතබා වසර ගණනක් ගතකළත්, උතුම් මනුදම් ගිළිහී යා නොදී සුරැකිව තබාගැනීම වෙනුවෙනි මේ සටහන.... 

අවදි කිරීම

සති අන්තයේ අගනුවර කොන්ක්‍රීට් වනාන්තරයේ ලැග සිට ඉරිදා රාත්‍රී ගෙදර යාමට ලැබීම තාවකාලිකව වුවත් මහත් අස්වැසිල්ලක් ලෙස දැනේ. අප නිවස පිහිටා තිබෙන්නේ මාතර නගරයෙන් කිලෝමීටර කිහිපයක් දුරිනි. මෙසේ දැඩි ලෙස වෙහෙසට පත්වූ දිනෙක ගෙදර යාමට බසයට ගොඩවැදුනෙමි. එය ලංගම බසයකි. එම මාර්ගයේ ගමන් ගන්නා අවසන් බසය වූ හෙයින්ද, මට අවිවේකී වුවද බහුතරයකට විවෙකී වූ ඉරිදාවක් වූ හෙයින්ද මට කරදරයක් නැතුවම අසුනකුත් ලැබුණි. 

මද වේලාවකින් කොන්දොස්තර මහතා පැමිණ ටිකට් කඩන්නට විය.  
සංකීර්ණ විෂය කරුණු සමග පොර බදමින් සිටි නිසාද, අගනුවර සිට පැය කිහිපයක ගමනක් ගත කර ඇති නිසාද මට අධික මහන්සියක් සමඟම දැනුනේ දැඩි නිදිමතකි. එහෙත් නින්ද ගියහොත්...? බසයේ ගමනාන්තය නිවසේ සිට සැතපුම් දහයකටත් දුරිනි. එලාම් තබාගැනීමට හෝ ගෙදරට මතක් කරන්නයයි කීමට නොහැක්කේ ජංගම දුරකථනයේ බැටරිය බැස ගොස් ඇති බැවිනි.

රියැදුරු පැමිණ බසය පණගන්වාගෙන ධාවනය ආරම්භ කළේය.
මෙහිදී මා අත්දුටු එක්තරා අපූර්වත්යක්, මගේ නිදිමත පහව ගොස් ප්‍රබෝධමත් ගතියක් ඇති කරන්නට සමත් විය.

වයස අවුරුදු 50 ක් පමණ වෙතැයි සිතිය හැකි කොන්දොස්තර මහතා, සෑම නැවතුමක් පාසාම මගීන් දැනුවත් කරමින් සිටියේය. අපූර්වත්වය වනුයේ ඔහු ඒ සඳහා විවිධකාර වචන සංයෝජන යොදාගැනීම සහ සඳහන් කළ නැවතුම්වල නම් ය.

ඔහු කෙතරම් දක්ෂ ලෙස ඒකාකාරීත්වය මගහැරියේද යත්, මා ගමන් කළ කිලෝමීටර කිහිපයටම, නැවතුම් දුසිම් ගණනටම, භාවිත කරන ලද එක වචන සංයෝජනයක් පුනරාවර්තනය වූයේ නැත!

"...... බහින අය එන්න."
"බහින්න. ......."
"එන්න. ........."
"......බහිනවද?"
"........" (නැවතුමේ නම)
"......බහින්න ඉන්නවද?"
"බහිමු. ........"
"බහිනවනම් මෙන්න  ........ හෝල්ට් එක."
(මෙහි  ........ යනු නැවතුම්වල නම්ය.)

නැවතුම්වල නම් - මේවා කාලාන්තරයක් තිස්සේ මගීන් විසින් පටබැඳි ඒවා විය හැකිය. අරුමය නම් වසර විස්සකට අධික කාලයක් මේ මාර්ගයේ ගම්න් කළද, ඒ අපූරු නම් මා කිසිදිනෙක අසා නොතිබීමයි. (තරමක් ජනාකීර්ණ මංසන්ධි නොව කුඩා අතු මාර්ග සම්බන්ධ වන සන්ධි හෝ ප්‍රසිද්ධ ආයතනයක්/වෙලැදසැලක්/ගොඩනැගිල්ලක් ආසන්නයේ නොතිබෙන.) උදාහරණයක් ලෙසට "අලහේන්පිට හන්දිය". එවැනි ගමක් හෝ ඒ අසල නොවේ.

මෙය සටහනක් තැබීමට තරම් නොවටිනා ඉතාම සුළු දෙයක් ලෙස ඔබ දකිනු ඇත. එහෙත්.....අපේ රටට කෙළවී ඇත්තේ තමාට පැවරුණු රාජකාරියෙන් ඔබ්බට ගොස් ජනතා සේවය වෙනුයෙන් කැපවූ මෙවන් රාජ්‍ය සේවකයින් අගය නොකර සිටීමෙන් හා නොසළකා හැරීම නිසා නොවේද...? මහා වෙනසකට මුළ පුරන්නේ ඉතා කුඩා සංසිද්ධියක් බව කවුදෝ කියා ඇත. ඔහු අවදි කරන්නේ නිදා සිටින මගියා නොව රාජ්‍ය සේවයේ අකාර්‍ය්ක්ෂමතාව ගැන දෙසමින් අතෘප්තිකරව සිටින මුළු මහත් ජාතියම බව මට හැඟේ.  

Wednesday, March 13, 2013

නෝ ලිමිට් නොගිහින් ඉඳිමුද...?


මා මේ සටහන තබන්නේ මේ දිනවල නැගලා යන මාතෘකාවක් ගැනය. එනම් මුස්ලිම් ව්‍යාපාර වර්ජනයයි. ඇතැම් විට මෙය පළවූ පසු මටද කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වනු ඇත.

සරසවියේ ව්‍යාපෘතියකට අවශ්‍ය නිදහස් රෝදයක් (Caster Wheel) මිළදී ගැනීම පිණිස නගරයේ වීදුරු බඩු, හාඩ්වෙයාර් පීරුවෙමි.



මා සොයන්නේ විශේෂ ආකාරයේ එකකි. එනම් ඝර්ෂණය ඉතා අඩු, ඉතා නිදහසේ හතර අතටම කරකැවෙන, හුරුබුහිටි එකකි. හේතුව එය යොදාගැනෙන්නේ මා විසින් නිපදවනු ලැබෙන රොබෝවකට වීමයි.
වෙළඳ සැල් රාශියක්ම පිරික්සුවද මට අවශ්‍ය ආකාරයේ එකක් හමු නොවීය. මේ නිසා මීළඟට භාණ්ඩය ඉල්ලා සිටින විට මගේ අවශ්‍යතාවය විස්තර කිරීමට සිතුවෙමි. 

අවාසනාවක මහත ! තත්ත්වය පෙරටත් වඩා දරුණු විය. මගේ අවශ්‍යතාව ඉටුකරනු ලබනු වෙනුවට ඔවුහු මා දෙස අවඥාවෙන් බැලූහ. මෙතරම් සුළු ලාභයක් ඇති දෙයක් වෙනුවෙන් මගේ විස්තරය අසා නාස්ති කිරීමට ඔවුන්ට වෙලාවක් නොමැති බව සමහරු කෙළින්ම කීහ. "කොහේද යන පිස්සෙක්...!" මුවින් නොබිණුවද මා ගැන ඔවුන් තුළ වූ ආකල්පය එබඳු විය.

අරමුණ ඉටු නොවූ කල්හි ලංකාව වැනි රටවල පර්යේෂණ කළ නොහැකි බව පවසමින් රටින් පනින ජෙය්‍ය්ෂ්ඨ පර්යේෂකයින් සාධාරණීකරනය කරමින් ඔහේ අරමුණක් නොමැතිව ඇවිද්දෙමි. 

"මවුලානා පික්චර් පැලස්" නම් කුඩා පින්තූර රාමු කරන වෙළඳ සැල මගේ නෙත ගැටුනේ අහම්බෙනි. කෝකටත් කියා ගොඩ වුනෙමි. ඉතා අධෛර්‍යයට පත්ව සිටි මම කුඩා ළමයෙකු මෙන් මගේ අවශ්‍යතාව විස්තර කළෙමි. වෙළඳ සැලේ හිමිකරු අවුරුදු 50ක් පමණ වෙතැයි සිතිය හැකි මුස්ලිම් මිනිසෙකි.

මා ඉමහත් සැනසිල්ලට පත් කරමින්, ඔහු මා කියූ වචනයක් පාසා ඉතා සාවධානව අසා සිටියේය. 

"මහත්තයට ඕන කරන ජාතියෙ එකක් තියෙනවද කියල අපි බලමු."

ඔහු සේවකයෙකුට කතා කළේය. දමිළ භාෂාවෙන් යම් උවදෙස් මාලාවක් දෙන ලදී. සේවකයා ඉපැරණි තරප්පු පේළියක් අනුගමනය කරමින් ඒ පැරණි ගොඩනැගිල්ලේ සොල්දරය තරණය කරනු දක්නට ලැබිණ.

මද වේලාවකින් ඔහු පැමිණියේ ධූලි වැකුණු, මකුළුදැල් පැටළුනු තරමක කාඩ්බෝර්ඩ් පෙට්ටියක් රැගෙනය.

අරුමයකි! මගේ සිතේ රැඳී තිබූ අපූරු උපාංගය එහි විය...!

මගේ අවශ්‍යතාවය සන්තර්පනය වනු දුටු හිමිකරුගේ වත සතුටින් පිනා යනු දුටිමි. 

ඒ සඳහා ඔහු අයකළේ රු. 50ක් වැනි ඉතා සුළු මුදලකි. නමුත් එවෙළේ එය මට රු. 5,000 කටවත් වඩා වටිනේය.

ඔහුට නොසෑහෙන්නට ස්තුති කළ මම ඉන් පිටවී පැමිණියෙමි.

සැමදේම මුදල්මය ලාභයෙන් මනින ලෝකයක සුළු දෙයකින් වුව පාරිභෝගිකයා සතුටු කිරීම වැදගත් කොට සැලකීමට බොහෝ දෙනෙක් අසමත් වන්නේ ඇයි...?

සිංහල ව්‍යාපාර අසාර්ථක වීමට ප්‍රධාන හේතුව මෙය විය හැකිය.

සාතිශය බහුතරයක් වූ සිංහල ව්‍යාපාරිකයන් අඩුගානේ සිය පාරිගෝගිකයින් සමඟ සිනාසීමට පවා මැළිකමක් දක්වයි. ඉන් ලාභයක් නොලැබේ යනුවෙන් සිතනවා විය හැකිය. අනෙක් කාරණය නම් බොහෝ වෙළඳසැල්වල සේවකයින් පාරිභෝගිකයින්ට ගරු කිරීමට නොදන්නා බවයි.

පසුගිය අවුරුදු සමයේ මාතර කොටු පවුර තුළ වූ ප්‍රසිද්ධ වෙළඳ සැළකට ගොඩ වුනේ අළුත් අවුරුද්දට පවුලේ සාමාජිකයින්ට ඇඳුම් මිළදී ගැනීමටය. ටී ෂර්ටයකින් සැරසුණු එක් උස මහත පුද්ගලයෙක් එහි සේවකයෙකුට දොස් පවරමින් සිටිනු දැකගත හැකිවිය.

"තමුසෙ දැනගන්නවා තමුසෙගෙ අවුරුද්දක පඩිය එකතු කළත් මගෙ වාහනේ එක රෝදයක් ගන්න බැහැ." 

මෙය ඇසූ මට එම සේවකයා ගැන ඇති වූයේ අනුකම්පාවකි. ඒ සමඟම අර 'වැදගතා' ගැන අප්‍රසාදයකි.
එහෙත්....මගේ අවශ්‍යතාවය සඳහා වෙනත් සේවකයෙකුගේ සහය ලබාගැනීමට සිතූ මට පසුව සිතුනේ අර පුද්ගලයා ඇමතූ ආකාරය හොඳ වැඩි බවයි.

අපේ මිනිස්සුන්ගේ ඉතාම කැත පුරුද්දක්නම් ඇඳ සිටින ඇඳුමෙන් මිනිස්සු මැනීමයි. 

එවෙලේ මා ඇඳ සිටියේ ටී ෂර්ට් එකක් සහ චාම් ඩෙනිම් කළිසමකි. මට අවශ්‍ය වූයේ එවැනිම වැඩිය වැඩ නැති ඩෙනිම් කලිසමකි. මා ඇඳුම් එකින් එක තෝරා නොගැලපේයැයි අයින් කරමින් සිටින විටෙක එහි සිටි සේවකයා දැඩි අවඥාවෙන් මෙසේ කීය.

"මේව මහත්තුරු අඳින ඒව...!"
මගේ පැටිකිරිය මා කියන්නට ගියේ නැත.

මා අදටත් බහුතරයක් සිංහල ව්‍යාපාරිකයින්ට අයිති සාප්පුවල සේවකයින්ගෙන් "අය්යේ", "මචං", "බොස්", "කොල්ලෝ" යනුවෙන් ආමන්ත්‍රණය ලබමි. මා මට එසේ අමතනවාට කිසිසේත්ම කැමති නැත. වැල්වටාරම් නොමැතිව සෘජුවම ප්‍රකාශ කළහොත්, ඔවුන් මට 'සර්' කියා අමතනවානම් මම අවංකවම කැමතිය. ඒ මා සරසවි ඇදුරෙක් නිසා හෝ ඔවුන් මට සාපේක්ෂව නූගත් නිසා හෝ දිළිදු නිසා හෝ නොව, මා ඔහුගේ පාරිභෝගිකයා නිසාය. 

(මම ආයතනයක මෙහෙයුම් ඉංජිනේරුවරයෙක්ව සිටියදී නූගත් රත්‍රන් බඩු මුදලාලි කෙනෙකුට 'සර්' කියා ඇත්තෙමි. හේතුව අන් කිසිවක් නොව ඔහු මගේ සේවාදායකයාය. මා ඔහුගේ සේවායෝජකයාය.)

මේ ආකාරයේම සිදුවීමක් මේ රටේ පිළිගත් පෞද්ගලික බැංකුවකදීද සිදුවිය.
අදාළ බැංකුවෙන් වෘත්තිකයින්ට දෙන වාහන ණය සඳහා මම ඉල්ලුම් කර එය ඉහළින්ම අනුමත වී තිබුණි. ඒ දිනවල හදිසි ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටි නිසා ඒ හා සම්බන්ධ සියළු ලිපිලේඛන කටයුතු කළේ ම'පියාය. මා දුරකථනයෙන් හා ෆැක්ස් මගින් සම්බන්ධ වීමි. අවසානයේ අදාල චෙක් පත භාරගැනීමට ඉතා අසීරුවෙන් නිවාඩුවක් ගෙන බැංකුවට ගියෙමි. ඒ වන විට අධික කාර්යබහුලත්වය නිසා මගේ රැවුළ ඝනව වැඩී තිබූ අතර, සුපුරුදු පරිදි මා සැරසී සිටියේ සරල ඇඳුමෙනි.
මා අදාල බැංකු නිලධාරිනිය හමුවීමට උඩු මහලට ගියෙමි.

"මොකද...?" ඇය ඇසුවේ සැරෙනි.
"ටිකක් ඉන්න මෙතන වෙන වැඩක්..!"

ඉතා දිගු කාල නාස්තියකට පසු මට අවස්ථාව උදාවිය.

"ඇයි...? ණයක් ගන්නද නැත්නම් හිඟයක් පියවන්නද...?" 
ඇගේ ස්වරයේ කිසිදු ආචාරශීලී බවකින් නොවීය. මා දෙස බැලූ ඇගේ වත අවඥ්‍යාසහගත බැල්මක් හෙළුවාය.

මා කාරණය කිවු විට ඇය පුදුමයට හා කළබලයට පත්ව අදාල ලියකියවිලි පරීක්ෂා කරන්නට වූවාය. මා පැමිණ සිටින්නේ මිලියන ගණනක වටිනාකමක් ඇති චෙක්පතක් භාරගැනීමටද, මගේ රැකියාව ලෙස 'ව්‍යාපෘති අධ්‍යක්ෂ - මෘදුකාංග ඉංජිනේරු' තිබෙනු දැකද ඇගේ හැසිරීම සපුරා වෙනස් වූයේ යැයි කිවහොත් එහි වැරැද්දක් නොමැති තරම්ය.  

ඇත්ත වශයෙන්ම මෙය මෙසේ නොවිය යුතුය. තමා හමුවට පැමිණෙන අන්ත දිළිදු ගොවියාද, සුළු ව්‍යාපාරිකයාද, මහා ධන කුවේරයාද ඇයට ගෞරවණීය පාරිභෝගිකයෙක්ම විය යුතුය. ඔහුගේ උගත්කම, තරාතිරම, ගණුදෙනු කරන මුදලේ වටිනාකම, අවශ්‍යතාව යන කරුණු වලින් ඔහුට දක්වන ගෞරවය, ආචාරශීලීත්වය හ කැපවුණු සේවය ස්වායත්ත විය යුතුය.

සිංහල ව්‍යාපාරිකයින් හා ඔවුන්ගේ ගෝලබාලයන් මේ දරුණු අඩුපාඩු හදාගන්න තෙක් කුණු බිත්තර නොවේ, වෙඩි තිබ්බත් සාමාන්‍ය මිනිසුන් මුස්ලිම් ව්‍යාපාරිකයින් පොහොසත් කිරීම වලක්වා ලිය නොහැකිය. මන්ද මිනිසුන්ට වටින්නේ ලබාදෙන ගුණාත්මක සේවය හා ලබාදෙන ගෞරවය මිස, තමන්ගේ මුදලින්ම ජීවිතය ගැට ගසාගෙන තමන්ටම සත්තම් දමන උද්දඡ්ඡ්යන්ගේ 'ලොකු සීන්' බැලීමට නොවේ.

පසු සටහන :  ඉහළ පෙළේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය නොකළ යුතු බව හෝ කළ යුතුබව මම මින් අදහස් නොකරමි. ඇතැම් මහා පරිමාණ මුස්ලිම් ව්‍යාපාරිකයින් ඉස්ලාම් අන්තවාදී සංවිධාන වලට ආධාර උපකාර කරන බව සත්‍යයකි. මේ බව මගේ ආරක්ෂක අංශ මිතුරකුද සනාථ කළේය. මමද එවැනි ආයතන වර්ජකයෙක්මි. එහෙත් සාමාන්‍ය අහිංසක මුස්ලිම් ව්‍යාපාරිකයින් වර්ජනය කිරීමට තරම් මම අන්තවාදියෙක් නොවෙමි. සෑම දමිළයෙක්ම කොටියෙක් නොවන බවද, සෑම මුස්ලිම් මිනිසෙක්ම ඉස්ලාම් අන්තවාදියෙක් නොවන බවද මම තරයේ විශ්වාස කරමි. එවන් අහිංසකයින් වෙනුවෙන් පෙනී සිටීමටද, ඕනෑම ආකාරයක අන්තවාදයක් නිර්දය ලෙස විවේචනය කිරීමටද මම කිසිවිටෙක පසුබට නොවෙමි. (ඉස්ලාම් අන්තවාදීන්ගෙන් මරණ වරෙන්තු ලබා සිටින්නෙක්මි.)

Tuesday, March 12, 2013

අතිශය භයංකර හෙළිදරවු කිරීමක්....


මා පසුගිය සරසවි ඇදුරන්ගේ වර්ජනය පැවති කාලසීමාවේදී ඒ සඳහා 'බැහැලාම' වැඩ කළ අයෙක් බව ඔබ දනී. ඒ මා රාජ්‍ය විරෝධියෙක් හෝ එන්. ජී.ඕ කාරයෙක් නිසා නොව ජාතික සරසවියක ආචාර්යවරයෙක් ලෙසට මා දිවි දිනූ නිදහස් අධ්‍යාපනය රැකගැනීම වස් මාගේ යුතුකම් කොටස ඉටුකිරීමට බව මගේ අවංක හදවත දනී.   

මීට මාස 6කට පමණ ඉහතදී FUTA මගින් සංවිධානය කරන ලද ඒ මහා ජාතික සටනේදී එක් ඉසවුවකදී මට අපූරු පුද්ගලයෙකු මුණ ගැසිණ.

ඔහු වෘත්තීය සමාජවාදියෙකි.

මා ඔහු හා කුළුපග වූයේ මා මෙන්ම ඔහු සරසවි ඇදුරෙක් යයි සිතාය. පසුව ඔහු පිළිබඳව දැනගත් නමුදු අප සටනට සවිබල දෙන අයෙකු නිසා දිගටම ඔහු හා දොඩමළු වීමි. මා රජයේ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කළ නිසා ඔහු සිතුවේ මාද උග්‍ර සමාජවාදියෙක් කියාය. 

කොහොමත් ඒ වනවිටත් මා තුළ සමාජවාදය ගැන තිබුයේ පැහැදීමකි. (ඒ පැහැදීම තවමත් මා තුළ ශේෂව ඇත. ලංකාවේ නූගත් බුද්ධි හීනයන් විසින් නායකත්වය සපයන සිය පටු අරමුණු උදෙසා විකෘති කරගත් වෛරී විකාරයට නොවේ. උතුම් මානවවාදී දර්ශනයක් වන පිරිසිදු සමාජවාදයයි.)
උග්‍ර සමාජවාදය ගැන මා අසා සිටිමුත් එවැන්නෙක් සජීවීව ඇසුරු කරන්නට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙය විය. ලංකාවේ සමාජවාදීන් තුළ පවතින ('ආගම අබිං' යන මිථ්‍යාව හැරුණු කොටගෙන) මා නොදත් යම් යම් ආකල්පමය විෂම අදහස් දැන ගැනීමට මෙය තෝතැන්නක් කරගත යුතුයැයි මම තීරණය කළෙමි.

එනිසා ඔහුට එසේම (මාද උග්‍ර සමාජවාදියෙක් කියා) සිතාගන්නට හැරියෙමි. 
කිසිදිනෙක මා සිහිනෙන්වත් නොසිතූ කරුණු කාරණා කිහිපයක් ඔහු මට හෙළි කරන්නට පෙළඹුනි. මගේ පියා විජේවීරගේ හිටපු පළමු පෙළ අනුගාමිකයෙක් සහ ජ'පුර සරසවියේ හිටපු ශිෂ්‍ය නායකයෙක් යයි මා හෙළිදරව් කළ නිසා ඔහු එසේ නිගමනය කරන්නට ඇත. 

පළමු කරුණ මා දැනගත්තේ අහම්බෙනි. 
ඉස්ලාම් මූලධර්මවාදය ගැන මාතෘකාව ඇදුනේ අහම්බෙනි.
"මම නම් කැමතියි තාලිබාන් කාරයො හරි කොටි හරි මොකෙක් හරි ලවා ඔය බුද්ධාගමයි සංස්කෘතිය කියන විකාරෙයි නැති කරල දානවට...."
මා විශ්මයට පත්වෙනු දැක ඔහු මෙසේද කීය. 
"ඕක තමයි අපිට තියෙන ලොකුම හෙණේ...මේ රටේ බුද්ධාගම තියෙනකම් අපිට කවදාවත් අපේම පාලනයක් ගේන්න බෑ. මේ රටේ මිනිස්සු සමාජවාදය පිළි ගන්න අකමැති ඔය බුද්ධාගම ඔළුවෙ වැඩ කරන නිසා. මෛත්‍රී කර කර විප්ලව කරන්න බෑ සහෝදරයා...අරගල කරන කොට ප්‍රතිවාදීන්ගෙ ලේ ගෑවෙන එක නවත්වන්න බෑ. ඒක නිසා ඉස්සෙල්ලම කරන්න ඕන ඔය කෙහෙල්මල් ආගමයි සංස්කෘතියයි විනාශ කරල දාන එක...! ඒකට උදවු කරන ඕනම එකෙක් අපි පිළිගන්න ඕන." 

යම් කිසි හේතුවක් නිසා ලංකාවේ ඇතැම් භික්ෂූන්ගේ ක්‍රියා කලාපය මම ඔහු හා දැඩිව විවේචනය කළෙමි. ඉන් දිරි ලැබූ ඔහුගේ ප්‍රකාශය ඉතා බැරෑරුම්ය.
"අර කාම්බෝජෙ කළා වගේ කවදහරි අපේ පාලනයක් තියෙන දවසට ඔය සංඝයො ඔක්කොම සිවුරු ගලවල කුඹුරු හාපිය කියල ගහල පන්නන්න ඕනා...!" 
ඉතිරි ටික ඇසූ මගේ ඇගේ හිරිගඩු පිපිණ....! 
"බැරි උන් ඔක්කොම මරලා දාන්න ඕන බල්ලො වගේ...!!" 
මා ඔහුගෙන් පැහැදිළි කරගත් ආකාරයට, ඔහු අදහස් කළ 'සංඝයා' කුළකයට ආරණ්‍යවාසී ධර්මධර විනයධර ස්වාමීන් වහන්සේලා පවා ඇතුළත්ය...!

මීට පසු මා උපක්‍රමශීලීව දැනගත් කරුණු මෙසේය.
ඔහු නියෝජනය කරන්නේ මේ රටේ සම්ප්‍රදායික සමාජවාදී පක්ෂයක් නොවේ. ඉන් බිඳී ගිය මෑතකදී අටවාගත් එකකි. ඔවුහු රටේ සම්ප්‍රදායික සමාජවාදී පක්ෂවල ප්‍රතිපත්ති පිළි නොගනිති. විප්ලවය හා සමාජවාදයේ මූලධර්ම අත් හැර ප්‍රජාතන්ත්‍රවාදයට කිට්ටු පිළිවෙත් අනුගමය කිරීම ඊට හේතු ලෙස දක්වයි. කෙටියෙන්ම කිවහොත් ජ.වි.පෙ. ඇතුළු රටේ සම්ප්‍රදායික සමාජවාදී පක්ෂ 'සමාජවාදී මදිය.'

සිය මතවාද පතුරුවන කල්ලි විවිධ නම්වලින් පෙනී සිටින බවත්, ඇතැමුන් රතු කුරුස සමාජය හා වෙනත් රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන්නන් ලෙස පෙනී සිටින බවත් ඔහු හෙළි කළේය. දමිළ බෙදුම්වාදය පිළිගැනීම සහ ඊට සහය දැක්වීම පොදු ලක්ෂණයයි.(නමුත් මින් එකක්වත් ලංකාවේ  ඉතිහාසයක් ඇති සම්ප්‍රදායික සමාජවාදී, මාක්ස්වාදී හෝ කොමියුනිස්ට්වාදී පක්ෂ නොවෙයි.)

මා දැනගත් තවත් කරුණක් ඉතා බරපතලය.
ඔවුහු බෙදුම්වාදී දෙමළ ඊළාම් කොටි ත්‍රස්තවාදයේ අනුග්‍රහය ලබති. උන් ත්‍රස්තවාදීන් යයි මොවුහු නොපිළිගනිති. තත්ත්වය ඉතා භයානක වන්නේ (මොවුන් පවසන අන්දමට) ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩි බලතල හා පාලනය ඇත්තේ මොවුන්ටය....!
මෙය සත්‍යයක් නම්....ඉතා කණගාටුදායකය....

තවද, මොවුහු ඉස්ලාම් මූලධර්මවාදය ඇතුළු දේශද්‍රෝහී සියළුම බලවේගවල ආශිර්වාදය ලබති.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට රුධිරය වගුරුවන විප්ලවය මොවුහු තවමත් (යල්පැන නොගිය, හණමිටි නොවන!) පාලන බලය ඇල්ලීමේ එකම ක්‍රමෝපාය ලෙස ඉඳුරාම පිළිගනිති....!

මට ඇතිවූයේ ශිෂ්ඨාචාරගත වී වැදගත් ලෙස ඉස්ලාමය අදහමින් සිට ඉස්ලාම් මූලධර්මවාදයට යන්නාක් මෙන් හැඟීමකි.

එහෙත් තවදුරටත් මේ 'අපූරු' දර්ශනය අදහන්නන්ගේ රහස් දැන ගැනීමේ කුහුල විසින් මැඬලනු ලැබූ එළිපිට අප්‍රසාදය පළ කිරීම නම් වූ ප්‍රතිචාරය මා තවදුරටත් ප්‍රමාද කළේය.

අවසාන වශයෙන්, අප හයිඩ් පාර්ක් පාගමනට සමගාමීව බෙදන්නට ගෙනා පත්‍රිකාවක් මට ඔහුගෙන් ලැබුණ. අමෙරිකාවේ සමාජවාදී ජනාධිපති අපේක්ෂකායා ඉදිරි දිනවලදී දිවයිනට පැමිණෙන්නට බලාපොරොත්තු වන බවත් බවත්, වැඩිදුර තොරතුරු www.wsws.org වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවත් පවසා ඔහු වෙන්විය.