Thursday, January 3, 2013

මිනිසෙකුට ආගමක් අවශ්‍යමද....?


(මෙහි එන එකදු සිදුවීමක් හෝ චරිතයක් මන: කල්පිත නොවේ.)

සිදුවීම 1

නිද්‍රාශීලීව, ඝන අන්ධකාරයේ වෙළී තිබු ගම්මානය සලිත වී ගියේ හෙණ හඬින් පුපුරා ගිගුම් දුන් වෙඩි හඬෙනි.
"අර අහිංසකයට වෙඩි තියන්න ඇති අර නරුමයෝ." තාත්තා කීවේ ශෝක භරිත හඬිනි.
"කවුද ලැම්බට් මුදලාලිටද..?" ඒ අම්මාය. ඇගේ හඬද ඉකි බිඳින ස්වරයකි.
"ඔව්. අරුන් මුදලාලිගෙන් උන්ගෙ සංවිධානෙ වැඩවලට සල්ලි ඉල්ලුවලු. මට ඊයෙ හවස කිව්ව."
"ඒ අහිංසකයට කොයින්ද ඔය දුප්පත් කඩෙන් එච්චර ආදායමක්..? දරු පවුල නඩත්තු කරන්නෙත් හරිම අමාරුවෙන් නේ."
පෙරදින සවස භූමිතෙල් ගෙන ඒමට තාත්තා සමඟ මම ඔහුගේ වෙළඳ සැලට ගොඩවුනෙමි.
මට එක්වරම සිහියට ආවේ අප ආපසු එන්නට හදන විට ඔහු මගේ හිස අතගා නොමිළයේම ටොෆි කිහිපයක් අත මිට මෙළැවූ අයුරුය.
එවන් හිත හොඳ, ගමේ කා අතරත් ජනප්‍රිය පුද්ගලයකු වූ ඔහු කිසියම් පිරිසක් විසින් ඔහු නොමැතිව අනාථ වන දරු පවුල ගැනවත් නොසිතා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණ.

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 2

මේ හා සමාන සිදුවීමක් ඊට මාස කිහිපයකට පසුව සිදුවිය. මෙවර බිල්ල වූයේ ගමේ නීති විරෝධී මත්පැන් අලෙවි කළ අප ගම්වැසියෙකි.
දිළිඳු භාවයේ අන්තයටම එරී සිටි ඔහු, ම'පියාගේ ඇතුළුව ගමේ යමක් තේරෙන අයගේ ඉල්ලීම්, අවවාද, මගපෙන්වීම සහ මුදල්/ද්‍රව්‍යමය උපකාර මත එම සමාජ විරෝධී රැකියාවට සමුදීමට මහත් කැමැත්තෙන් සිටිබව පසුව දැනගතිමි.
කොහොමටත් ඔහු ඉතා අහිංසක, ලෙන්ගතු මිනිසකු බව මගේ පුද්ගලික අත්දැකීම විය. එකම වැරැද්ද වූයේ වැරදි රැකියාව පමණි. පවුකාර ජීවිතයෙන් මිදීමට දින කිහිපයක් ඉවසීමෙන් බලා සිටි ඔහුට එක්තරා කල්ලියකින් මරණ වරෙන්තු නිකුත්කර තිබිණ. සිය දරුවන්ගේ සහ බිරිඳගේ කුසතුළ සිටින තවමත් මෙළොව එළිය නොදුටු බිළිඳාගේ නාමයෙන් සිතක් පපුවක් නොමැති නරුමයන්ගෙන් ජීවිතය අයැද සිටි ඔහුට එම අවස්ථාව නොලැබිණ. ඔහු ඝාතනය කරන ලද්දේ කුඩා දරුවන් හා නවමස් ගැබිණි බිරිඳ ඉදිරිපිටදීමය.

සිදුවීම 2 - අතුරු කතාව

දරාගත නොහැකි කම්පනයෙන් අප ඒ පෙදෙස අතහැර ගියද, මගේ පියාගේ සොයුරා තවමත් එහිම වාසය කරයි. මා නව යොවුන් තරුණයකු වූ පසු අපි දිනක් එහි ගොස් ක්‍රිකට් සෙල්ලම් කළෙමු. ගමේ මන්දමානසික දරුවකු අප සෙල්ලම් කරන තැනට අවුත් මහත් සේ හිරිහැර කරන්නට විය. පසුව මා දැනගත්තේ ඒ සිය පියා වෙඩි කා මිය යද්දී මවුකුස තුළ සිටි දරුවා බවයි.

(කොළඹ - පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ පොලොන්නරුව නගරයට කි.මී. 2ක් මෙහා, බැඳිවැව 'කිරි සෙන්ටර් එක' බස් නැවතුමේ බැස එතැනින් ඇතුළට ඇති ගුරු පාරේ මීටර් 500ක් පමණ ගමන් කර, 1988-89 කාලයේ ඒ ගමේ විසූ ඕනෑම ගම් වැසියෙකුගෙන් මෙහි සත්‍ය අසත්‍යතාව ඔබටම විමසා දැනගත හැකි ය.)

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 3

අප ගමන්ගත් ලංගම බස් රථය කිසියම් පිරිසක් විසින් නවත්වන ලදී. අනතුරුව සියළුම මගීන්ට, රියැදුරුට සහ කොන්දොස්තරට ඉන් බසින්නට අණ ලැබිණ. ඉන් පසුව සිදුවූ සියල්ල ඔබට සිතාගත හැකිය. එම දරුණු ක්‍රියාව ගැන විරෝධය පෑ වැඩිහිටියෙකුට ලැබුණු පිළිතුර මෙසේය: 
"සහෝදරයා. අපි රජයට දැඩිව විරෝධය දක්වන්න ඕනෑ."
"මාමේ, ඒ වුනාට මේ අපේ බස් එකනේ" එවක සය වස් දරුවකු වූ මා වේදනාවෙන් දැවෙන හදවතින් කෑගෑමි. ඵලක් වූයේ නැත.
රට කරනවුන් ගෙදරින් ගෙනා මුදල් නොව, සුවහසක් අහිංසක ජනතාවකගේ කඳුල, සුසුම, දහඩිය මෝහයේ ගිණිසිළු වලින් වැසෙන්නට විය.
(මට අදටත් ඇති විස්මය නම්, සයවස් දරුවකුට තේරෙන දෙයක්වත් තේරුම් ගන්නට මොළයක් නොතිබූ මන්ද-බුද්ධිකයින්, අදටත් ඇතැම් කොටස් වල වීරයන් වන සැටිය.)

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 4

එකල ගමේ රූපවාහිනී යන්ත්‍රයක් තිබූ නිවෙස් අතලොස්සෙන් එකක්, අප නිවස විය. 'නයිට් රයිඩර්' වෘත්තාන්තය පළමුවරට මෙරට විකාශය කළේ එසමයෙහිය. මෙය බැලීමට මගේ පියාගේ ඉහළ පන්තිවල ශිෂ්‍යයන් කිහිපදෙනෙක්ද පැමිණෙති. ඔවුන් එය නරඹා පෙරලා ආපසු යමින් තිබූ දිනෙක, අප නිවසේ ගෙට්ටුව සෙළවෙනු ඇසී තාත්තා විදුලි පන්දම දල්වා බැලීය. ඔහුගේ ආදරණීය ගෝලයන්, ගේට්ටුවේ වූ ලියුම් පෙට්ටියට යමක් දමනු පෙනිණ.
ඔවුන් ගිය පසු එම කඩදාසි කැබැල්ල ගෙනා තාත්තා, එය හඬ නගා කියැවීය.
"ආණ්ඩුවේ දණ්කුඩ පඩි කන බල්ලෝ, තෝ හෙටම ඉස්කෝලේ ගමන නැවැත්තුවේ තොපේ පවුලම මරණවා දැනගනියවු!"

*   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *   *

සිදුවීම 5

මා සරසවියේ අවසන් වසර සිසුවෙකු ලෙස සිටි කාලයේ , අධ්‍යයන නිවාඩුවක් අතරතුර (මාතර දිස්ත්‍රික්කයේ ඈත කෙළවර පිහිටි) මහගෙදර ගිය දිනක, ගමේ මළගෙදරක නිදිවැරුමට සිදුවිය. මෙහිදී මට අපූරු පුද්ගලයෙකු මුණගැසිණ. 
එතරම් උගත් නැතත්, විශාල හිස සහ පුළුල් නළල් තලය කියා පාන්නේ ඔහු ජීවන අත්දැකීම් හා බුද්ධියෙන් පරිණත වූයෙකු බවය.
ඔහු 88-89 කාළයේ 'සමාජවාදී' දේශපාලනය කර අනූනවයෙන් දිවි බේරාගත්තෙකි.
සංවාදය අතරතුර මම අතුරු ප්‍රශ්නයක් ඇසුවෙමි.
"ඒ දවස්වල ඕව කරනකොට පවු කියල හිතුන්නැත්ද?"
මෙතෙක් උපේක්ෂාසහගතව, උපශාන්තව තිබූ ඔහුගේ මුහුණ එක්වරම අඳුරු විය.
"පවු...?   න්..නෑ..." තත්පර කිහිපයකට පැවතියේ දැඩි නිහඬතාවකි.  මද වේලාවකට පසු ඔහු යළි කට හඬ අවදි කළේ කළකිරුණු ස්වරයෙනි.
"ඒ දවස්වල අපිට සහෝදරවරු ඉගැන්නුවෙ ඔක්කොම ආගම් බොරු, ඒවගෙන් කරන්නෙ මිනිස්සුන්ට හිතන්න බැරි කරන එක විතරයි කියල."
ඔහු ටිකක් නැවතී කල්පනාවේ නිමග්න විය. 
"පවු සිද්ධ වෙන්නෙ බුද්ධාගම් කාරයොන්ට, අපි ආගමක් අදහන්නෙ නැති නිසා අවුලක් නෑ කියලයි එයාල අපේ ඔළුවලට දැම්මෙ." 
ඔහු මෙසේද කීය.
"ඒ වුනාට දැන්නම් හිතෙනව උන් මහ ප්‍රෝඩාකාරයො ටිකක් කියල." ඔහු එසේ කීවේ අවංකවමද යන්න මට ගැටළුවක් විය. නමුත් ජීවිතයේ අත්දැකීම් වලින් තෙම්පරාදු වූ ඔහුගේ මුහුණේ වූයේ එය වගකීමෙන් පවසන ලද බැරෑරුම් ප්‍රකාශයක් බවයි.

වේලාව පෙරවරු 2ට ආසන්න වූයෙන් මා සූදානම් වූයේ නිවස බලා යාමටයි. අවසාන වශයෙන් ඔහු මට මෙවන් අවවාදයක් දුනි.
"පුතා කැම්පස් කිව්ව නේද? ඔය කාලකණ්ණි තක්කඩින්ට අහුවෙලා තරුණ ජීවිතේ නිකරුණේ විනාස කරගන්න එපා. ඕව දැන්ම තේරෙන්නෙ නෑ. වයසෙ වැරැද්ද!"



3 comments:

  1. තම මතවාද අන් අය පිට බලෙන් පැටවීමත්,සෑමදෙයකටම විරුද්ධ වීමත්,යමක් කමක් ඇති අයට ඊර්ශ්‍යා කිරීමත් එසේ නොවන්නන් වෙත බලය පැතිරවීමත් හැර වර්ථමාන සමාජවාදීන් යැයි කියාගන්නා බහුතරයක්ගේ පොදු ප්‍රතිපත්තිය වේ.අවාසනවට බොහෝවිට මොවුනගේ බලපෑමට යටත්වන්නේ නිර්ධන පන්තියේ අහිංසකයන් වේ.අති බහුතරයක්ගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ ඉහළ හැකියාවක්ද මොවුන් සතුය.

    ReplyDelete
  2. පුලුවන්නම් මේකෙ ප්‍රින්ටවුට් එකක් ඔය මේ දවස්වල වීරයෝ වගෙ කෑගහන අනුර/විජිත වගෙ උන්ට යවන්න බැරිද? ලින්ක් එක විතරක් යවල වැඩක් නැතිවෙයි, උන් කොහෙද ඒව දන්නෙ.

    ප්‍රසා

    ReplyDelete
  3. 88 වසරෙදි මම පහ වසරෙ.. මේ වගේ බියකරු අත්දැකීම් රැසක් මටත් තියෙනවා.. ඒ ගැන ලියන්න හිතන් හිටියත් තාමත් බැරි උණා... තමන් යා යුතු දේශපාලන ගමන මොන වගේද කියල ජනතා විමුක්ති පෙරමුණ වගේම අනිකුත් වාමාංශික පක්ෂත් තවමත් තේරුම් අරන් නැහැ කියලයි මට හිතෙන්නෙ...
    මට මතක් උණේ එක් අතක් වැලමිට ළගින් නැති ඉතාම අහිංසක මල්හාමි මාමව කටට වෙඩි තියල මරා දැම්ම එක.. උන්දැට තිබුණෙ පුංචි සිල්ලර කඩයක්... හැන්දෑවට ටිකක් තොල ගා ගත්තම භීෂණය පතුරන අයට විරුද්ධව කතා කළ එක තමයි ඒ අහිංසක මනුෂ්ය්යා කළ එකම වරද..
    ඒ වගේම මගේ ලොකු සීයා.. එයා ගොළුයි... 89 ජනාධිපතිවරණයට ඡන්දෙ දෙන්න යද්දි එයාට වෙඩි තියල තිබුණා.. ජීවිතය බේරුණත් සදාකාලයටම දකුණත පණ නැති උණා.. එහෙම උණේ එයාගෙ පුතා ඒ කාලෙ ජේ.වී.පී. එකේ ප්රාණදේශීය නායකයෙක් වෙලා ඉද්දි...

    හැබැයි ඒ වෙද්දි යූඑන්පී ශාඛා සමිතියේ සභාපති වෙලා හිටිය මගේ තාත්තගෙ ජීවිතේ බේරුණේ '' ඒ මනුස්සයව මරල දාල අක්කයි, ළමයිනුයි දුක් විදිනව මට බලන්න බෑ... අපි බය කරල එයාව දේශපාලනෙන් අයින් කරන්නම් '' කියල ඒ මාමා ( ලොකු සීයගෙ පුතා) කියපු නිසයි. බය කරපු හැටි නම් ඉතින් වෙනම කතාවක්...
    ඒ මාමා හමුදාවට අහුවෙලා තිබුණා.. අදටත් අපි දන්නෙ නෑ.. එයාට මොකද උණේ කියල....

    ReplyDelete