Monday, December 9, 2013

බැහැලා බැහැලා දැන්නම් බැහැලා...

දැන් නම් මගේ දේශප්‍රේමී උණ හොඳටම බැහැලා ය. 

දේශප්‍රේමයෙන් ඔද වැටී, දේශීය නිෂ්පාදකයා නගා සිටුවීමේ පරම පවිත්‍ර උත්තුංග චේතනාව පෙරදැරි කරගෙන, දේශීය (යයි කියාගත්, චීනයෙන් කොටස් ගෙන්වා එකළස් කරන) සමාගමකින් මිළදී ගත් මෝටර් රථයක් නිසා ය.

ඉතා සුළු අනතුරකට ලක්ව (ඩීමෝ බට්ටෙක් අතුල්ලාගෙන යාම නිසා) ඉදිරිපස Passenger Side දොරේ තහඩුව ටිකක් ඇතුළට එබුණි.
එවෙලේම වීදුරුව පහත් කරන්නට උත්සාහ කළෙමි. මෝටරය කැරකෙන බව දැනුනත් වීදුරුව පහත් වූයේ නැත. යම් හේතුවක් නිසා එය සිරවී තිබුණි.

රක්ෂණ සමාගමෙන් රු. 16,000 ක මුදලක් ඇස්තමේන්තු කර අනුමත කළේය. පිටින් පෙනෙන හානියට වඩා අභ්‍යන්තර හානි තිබිය හැකි බැවින් මා ඒ ගැන විමසුවෙමි.

වීදුරුව පවා සුළු හෝ හානියක් නොමැතිව හොඳින් තිබෙන නිසා ඔවුන් (පමණක් නොව මමද ) විශ්වාස කළේ තහඩු දිගහැරෙන විට අවහිරය ඉබේම විසඳෙනු ඇති බවයි.

අවශ්‍යනම් අභියාචනයක් ඉදිරිපත් කිරීමේ එකඟතාව මත මා එම වටිනාකමට එකඟ වූයෙමි.

නමුත් අවාසනාවක මහත! ගරාජයේදී තහඩුව දිගහැරිය පසුවත් ස්වයංක්‍රීයව වීදුරුව උස් පහත් කිරීම ක්‍රියාත්මක වුණේ නැත.

"පවර් ෂටර් මිකෑනිසම් එකේ" තුනී ප්ලාස්ටික් වලින් තනා තිබූ යම් කොටස් වලට හානි සිදුවී ඇති බවට කාර්මික මහතා මට වාර්තා කළේය.
ඒ අනුව මා එකී 'දේශීය'  සමාගමේ අමතර කොටස් අංගනය දුරකථනයෙන් සම්බන්ධ කර ගතිමි.

හානි වූ කොටස පමණක් වෙනම විකුණන්නේ නැති බවත්, මෝටර් ආදී සියළුම කොටස් සමඟ සම්පූර්ණ යාන්ත්‍රණයම මිළදී ගත යුතු බවත් ඔවුන් දන්වා සිටියහ.

නමුත් දැනට එයද ඔවුන් සතුව නොමැති බවත්, එය චීනයෙන් ආනයනය කළ යුතු බවත් ඔවුන් සඳහන් කළහ. ඒ සඳහා මාසයක් පමණ ගතවනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබිණ.

විකල්පයක් ලෙස ඔවුන් යෝජනා කළේ මුළු දොරම අංග සම්පූර්ණව මිළදී ගැනීමටය.

නිකමට එහි මිළ විමසූ මට තරු පෙණුනි. 

රු. 86,000 ක්!. 

ඉන් අඩක වටිනාකමට ජපන් වාහනයක අංග සම්පූර්ණ දොර 4ම මිළදී ගත හැකිය.

මීට පෙර ඉදිරිපස බෆරය පළුදුවී එය යථා තත්ත්වයට පත් කරන්නට මා හට රු. 75,000ක වියදමක් දරන්නට සිදුවිය. 
ඒ ජපන් මෝටර් රථයක බෆරය අළුතින්ම දමන්නට යන්නේ රු. 25,000 ක මුදලක් පමණක් වන සංදර්භයකදීය.

(Spare Parts Division - 077-3512439 හෝ 077-5749360 අංකවලට ඇමතීමෙන් ඉහත කරුණුවල සත්‍ය අසත්‍යතාව ඔබටම තහවුරු කරගත හැකිය.)

ස්පෙයාර් පාට්ස් මෙච්චර ලාභ වන මේ රථයේ උසස් කොලිටිය ගැනත් යමක් කිව යුතුමය...

ප්‍රදර්ශනාගාරයේ සිට මගේ නිවසට ඇත්තේ කි.මී. 7ක් පමණි. ඒ ගෙන යන අතරතුර වායුසමන යන්ත්‍රය උපරිමයට දමා තිබීයදී පවා අධික ලෙස දහඩිය දමන්නට වූයෙන් හීට් මීටරය බැලුවෙමි.

අම්මට සිරිය. රතු කට්ටත් පැන තව ටිකකුත් පැන ඇත.

කාර්මිකයෙකු ගෙන්වා පරීක්ෂා කළෙමි. ඔහු රපෝත්තු කළේ රේඩියේටරයට සම්බන්ධ විදුලි පංකාව (Radiator Fan) ක්‍රියාත්මක නොවන බවකි. විලාකය පුවරුව (Fuse Box) පරීක්ෂා කළ ඔහු මට දැවී උණු වී ගිය චීනයේ නිෂ්පාදිත Relay උකරණයක් ගලවා අතට දුන්නේය.

ඒ එවැනි පළමු සහ අවසන් සිදුවීම නොවේ. මේ වනවිට වාහනයේ විදුලි පද්ධතියේ උපාංගවලින් හරි අඩක්ම ජපන් ය. මෙහෙම ගියොත් තව වැඩි දවසක් යන්නට කළින් මෙය ඉබේම ජපන් වාහනයක් වනු ඇත!

'Factory Fitted' ස්වයංක්‍රීය විදුලි අගුළු පද්ධතිය හෙවත් Central Lock System වසර දෙකක් තුළ අළුත්වැඩියා කළ වාර ගණන 4කි. ඒ සෑම අවස්ථාවකදීම ජපානයේ නිෂ්පාදිත සෙන්ට්‍රල් ලොක් සොලෙනොයිඩ් යොදාගැනීමට මා වගබලා ගත්තේ චීනයේ නිෂ්පාදිත කොටස්වල විශ්වසනීයත්වය වරක් දෙවක් නොව, කිහිප වරක්ම මා හට සපථ වී තිබූ හෙයිනි. 

නමුත් මා ඉස්තාලය වැසුවේ අස්සයා පැනගිය පසුය. මේ වනවිට එම විදුලි උපාංග හොඳ තත්ත්වයේ ඇති නමුත් දුරස්ථ පාලකය මගින් දොරගුළු ලෑම සහ හැරීම කළ නොහැකිය. පොර සේ දුරස්ථ පාලකයේ බොත්තම ඔබා, අනතුරුව ආදී කාළීන රථයකට මෙන් දොරට යතුර දමා කරකැවිය යුතු වේ.

වායු සමන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබියදී මට ගෝබි කාන්තාරය හෝ උත්තර ධ්‍රැවය මතක් වූයේ වරක් දෙවරක් නොවේ.
ඒ සෑම අවස්ථාවකදීම චීනයේ නිෂ්පාදිත අධි තාක්ෂණික සංවේදක (Sensor) සහ පරිගණක පද්ධති වල නිරවද්‍යතාව මා වෙත මනාව ඔප්පු කර පෙන්වන ලදී.

අන්තිමේදී Climate Control තාක්ෂණය හිතින් අහක් කරගෙන සරල On-Off ස්විචයක් මගින් වායුසමනය ක්‍රියාත්මක කිරීමටත්, සීතල වැඩි වූ පසු එකී ස්විචය යොදාගෙන එය ක්‍රියාවිරහිත කිරීමටත් මට හිත හදාගන්නට සිදු වූයේ අදාල අධි තාක්ෂණික සංවේදක සහ පරිගණකය ප්‍රතිස්ථානගත (Replace) කිරීමට මගේ මාසික ආදායම මෙන් කිහිප ගුණයක් ඕනෑවන බව දැනගත් දිනය. (අවම වටිනාකමක් ඇති කාර් කට්ටක් අමාරුවෙන් දිවුවාට කැම්පස් ගුරුවරු කියන්නේ මහා ලොකු සල්ලිකාරයන් නෙමේය. බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගසාගෙන දුවන තවත් දුප්පත් රජයේ සේවකයෙක් පමණි.)

මේ වනවිට රථයේ ඩෑෂ් බෝඩය මත සවිකර තිබෙන ඔරලෝසුව කෙතරම් හොඳින් ක්‍රියාත්මක වන්නේද යත්, ඉලක්කම් පමණක් නොව ග්‍රීක අක්ෂර මගින්ද වෙලාව දක්වනු ලබයි. නමුත් ඒ වේලාව අදාල වන රට දන්නේ දෙවියන් වහන්සේ පමණි.

මේ වන විට ඉදිරි ෆොග් ලාම්පු වලින් එකක් නිවන් ගිහිල්ලාය.
ඒ අතරේ පිටුපස ෆොග් ලාම්පු පද්ධතියම පත්තුකරන් ගිහිල්ලාය.

වසර දෙකක් ඇවෑමෙන් 'බීට් සයිලන්සරයක්' නොමිළේම හිමි විය. 

ආ. අමතක වුණාය. සුපිරි ඉන්ධන පිරිමැස්ම ගැනත් යමක් කිව යුතුමය.
සංවේදී වැඩ කොරන විස්සවිජ්ජාලය තියෙන්නේ එයාගේ ගෙදර සිට කි.මී. 5.5ක් පමණ ඉතා විශාල දුරකින්ය.
මාසයට දවස් 20ක් විතර ඔය දුර එහා මෙහා ගියාම ලීටර් 40ක ටැංකිය සම්පූර්ණයෙන්ම හිඳෙනවා ය. ඒ ටැංකියේ හිලක් තියෙන නිසා නොවේ, සුපිරි චීන තාක්ෂණයෙන් නිර්මිත, මල්ටි පොයින්ට් ඉලෙක්ට්‍රොනික් ෆුඑල් ඉන්ජෙක්ෂන් එන්ජිමේ සුපිරි කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට පින්සිදුවන්නටය.

මේකට හේතුව මගේ ඩ්‍රයිවින් ඉස්ටයිල් එකේ වෙනසක් බව මෙය විශ්ලේෂණය කළ මෝටර් රථ විශේෂඥයෝ කියන්නට වූ නිසා මේ හොරය අල්ලන්නට තීරණය කළෙමි.

1986 ජපානයේ නිෂ්පාදිත කාර් කට්ටක්ද මා සතුව ඇත. ඔය EFI තියා මෙලෝ මළදාන කොම්පීතර තාක්ෂණයක් ඒකට ගෑවිලාවත් නැත. තනිකරම කාබියුරේටර්ය. මේකේ එන්ජින් ධාරිතාව 1500කි. ('දේශීය' රථයේ සිලින්ඩර් capacity 1000කි.)
සැෆාන් එකේ ඒ/සී දාගෙන මාසයක්ම වැඩට ගියත් දැවී තිබුණේ පෙට්‍රල් ලීටර් 20කට අඩු ප්‍රමාණයක් පමණි.
මේ අනුව සුපිරි චීන තාක්ෂණයේ මහිමය සිතාගත හැකිවිය.

කෙසේ වෙතත් (කවුරුහරි අරන් දෙනවා නම්) ක්ෂණිකව ත්වරණය කර අඩු කාලයකදී උපරිම වේගයට ළඟාවිය හැකි සිලින්ඩර 6යේ අධිබල ටර්බෝ එන්ජිමක් සහිත අධි සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්, මර්සිඩීස් බෙන්zස්, වොල්වෝ, ෆර්ජෝ, පෝ(ර්)ෂා හෝ ලෑන්ඩ් කෘෂර් ප්‍රාඩෝ, මොන්ටේරෝ වැනි වාහනයක් පවා නඩත්තු කිරීමේ හැකියාව මා සතුව ඇතිබව පෙන්වා දීමට මේ 1000cc. එන්ජිමට හැකිවීම අරුමයක් මැයි! 

මේ කියන වාහනය හරිහැටි නඩත්තු නොකර, සෑහෙන දුරක් ධාවනය කළ (එනම් පට්ටා ගසන ලද) සෑහෙන්න පැරණි එකක්යැයි ඔබ සිතනු ඇත.
අහෝ ඛේදයකි!. ඉරකි. තිතකි.!! යටින් දඟරයකි.!!! වසර දෙකක් 'ඉපැරණි' මේ අනගිබවනීය වාහනය, තවමත් ධාවනය කර ඇත්තේ කි.මී. 15,000ක් පමණි!

මේක මෙච්චර ඔඩු දුවනකම් පොල් ගෑවාදැයි ඔබ අසනු නො අනුමානය.

මේ අවුරුදු 2 තුළ වාහනය විකිණූ සමාගමට පැමිණිලි කළ වාර ගණන ඉසේ කෙස් ගණනට විය. (මා තට්ටයෙකු නොවේ.)
"කතාවනම් දෝලාවෙන්, යන්න වෙන්නෙ කකුල් දෙකෙන්" කියමන මතක් කර දෙමින් ඔවුහු ඔවුන්ගේ අති විශිෂ්ට කස්ටමර් කෙයාර් සේවාවෙන් මට සංග්‍රහ කළහ.

ප්‍රතිචාරය ඉතා ඉහළ වූයෙන් අන්තිමේදී මගේ මාධ්‍ය සඟයකු මාර්ගයෙන් එහි වගකිවයුතු නිලධාරියෙකු (නියෝජ්‍ය අධ්‍යක්ෂ ශ්‍රේණියේ පුද්ගලයකු) වන ආරියරත්න මහතා (දු. අං. 077-3667667) සම්බන්ධ කර ගැනීමට හැකිවිය. මා කතාකරණ සෑම මොහොතකම මොකක් හෝ වැදගත් මීටිමක සිටින ඔහු බේරෙන්නට බැරි තැන නිශ්ශංක නම් මහතෙකුගේ දුරකථන අංකය (077-0284685) ලබාදෙමින් දක්ෂ ලෙස බෝලය පාස් කළේය. 

නිශ්ශංක මහතා උපදෙස් දුන්නේ නිල වශයෙන් පැමිණිල්ලක් දමා එන්නට කියා ය. ඒ අනුව මා සමාගමේ General Line එකට (0114-7844844) ඇමතුමක් ගතිමි. සංවාදය මෙසේ විය:

"හෙලෝ. මම කස්ටමර් කෙනෙක් කතාකරන්නෙ. මට කම්ප්ලේන් එකක් කරන්න ඕන. කොහොමද ප්‍රොසීඩියර් එක?"

එහා පැත්තෙන් ගැහැණු කටහඬකින් 
"කවුද කිව්වෙ කම්ප්ලේන් කරන්න කියල?"

"මිස්ටර් නිශ්ශංක."

"එහෙනම් එයාගෙන්ම අහගන්න කම්ප්ලේන් කරන්න ඕන ප්‍රොසිඩියර් එක"

ඇමතුම විසන්ධි විය.

දේශප්‍රේමී වනවාට අපිට මෙහෙම සලකනවා මදිය.

Saturday, December 7, 2013

ආගම, ආගමික සාහිත්‍යය සහ ආගමික සංස්කෘතිය


දර්ශනය, ආගම, ආගමික සාහිත්‍යය සහ ආගමික සංස්කෘතිය කියන්නෙ එකක් නොවෙයි, 4ක්. ඒක තේරුම් ගන්න බැරි අය තමයි මේව හරි ලොකුවට අල්ලගෙන දඟලන්නෙ. (දෙගොල්ලොම, ආගම් අදහන අයයි, මොකක් හරි අල්ලගෙන ආගම් වලට පහර ගහන්න බලාගෙන ඉන්න අයයි.).

දර්ශනය කියන්නෙ යම් ආගමක අධ්‍යාත්මික හර පද්ධතිය. උදාහරණයක් ලෙසට බෞද්ධ දර්ශනයේ නම් පටිච්ච සමුප්පාදය, චතුරාර්‍ය සත්‍යය වගේ තාර්කික සංකල්ප.

ආගම කියන්නෙ තමන්ගෙ ආගමික ශ්‍රාස්තෘවරයගෙ රූපයක් හදාගෙන වඳින එක. ශ්‍රද්ධාව, විශ්වාස, ඇදහිළි..ඕව අයිති ආගමට. මේක පුළුල් පරාසයක විහිදෙනව. දේව සංකල්පවල සිට බෝධි පූජා, පිරිත් /ගීතිකා, ධාතු වන්දනාව / තැන්පත් කිරීම දක්වා.

ඊළඟට පසු කාලීනව එකතුවෙච්ච ආගමික සාහිත්‍යයක් තියෙනවා. මේවයෙ තියෙන හැම දෙයක්ම ඇත්ත නොවෙයි. එහෙම වෙන්න ඕනෙත් නෑ. සමහර ඒව සුරංගනා කතා වගේ. 

මේක බෞද්ධ සාහිත්‍යය කියල අතිශයෝක්තියෙ අඩුවක් නෑ. උදාහරණයක් ගත්තොත් ජාතක පොතේ මේ වගේ ඒව ඕනතරම් හමුවෙනව.
සත්තු කතා කරනව, සස ජාතකයෙදි ශක්‍රය හාවගෙ රූපෙ හඳේ කොටනව...

අවුල තියෙන්නෙ ආගමික සාහිත්‍යයේ එන සමහර සුරංගනා කතා පොඩි එවුන් නිදිකරවන්න විතරක් පාවිච්චි නොකර ෆුල් සීරියස් ගැනීමයි. මේ ෆැන්ටසිය බිඳින්න එන එවුන් එක්ක තද වෙන්නේ ඒ නිසයි.

තව සමහරුන්ට ආගමකට පහර ගැසුවා කියා සිතාගෙන ස්වයං ආතල් ගන්නත් පුළුවන් වෙන්නෙත් මේ ආගමික සාහිත්‍යයි, ආගමයි, එහි දාර්ශනික හර පද්ධතියයි ඔක්කොම එකයි කියා හිතාගෙන ඉන්න නිසා. ආගමික සාහිත්‍යයේ එන අතේ මාට්ටු කෙප්පයක් අල්ලගෙන ආගමේ දාර්ශනික පදනමක් නෑ කියල නිගමනයකට එනව. 
ඔක්කොම එකයි. මිථ්‍යාවන්. එකක්වත් එපා කියන තැනට සමහරු තල්ලු වෙන්නෙ එවැනි සංදර්භයක් තුළ.

ආගමික සංස්කෘතිය කියන දේ වෙනම දෙයක්. මිනිස්සු අඳින පළඳින විදිය, කතා කරන විදිය, ආගන්තුක සත්කාර කරන විදිය, උත්සව, සැරසිලි, ආවාහ-විවාහ-චාරිත්‍ර, වෙනත් සිරිත් විරිත් ආදී ක්‍රියාදාම වල එකතුවක්. සංකීර්ණ කාරණා රාශියක් මේ සම්මුති-ආචාර ධර්ම පද්ධතිය සම්මත වීමට සහ පැවැත්මට බලපානව. රටේ දේශගුණය පවා බලපානව. (උදා. අරාබි ඇඳුම.) වෙන ආගම්වල, සංස්කෘතීන් බලපානව. ඔය ගවමස් පිළිකුළ් කිරීම පිරිසිදු බෞද්ධ සංස්කෘතීකාංගයක් නෙමේ නේ. ගවයා විශේෂ සහ වන්දනීය වන්නේ හින්දු භක්තිකයින්ට. රටක සංස්කෘතීන් මිශ්‍ර වීම සාමාන්‍යයි. බෞද්ධයින් විවිධ දේව ඇදහිළි, නක්ශත්‍රය වගේ හයර් එකට ගත්ත විශ්වාසයන් පස්සෙ දුවන්න ගන්නෙත් එහි ප්‍රතිඵලයක් ලෙසට. 

ආගමේ දාර්ශනික පදනමෙන් බලාපොරොත්තු වෙන්න ඕන පරිපූර්ණත්වය, නිරවද්‍යහාවය, අතිශයෝක්තියෙන් තොර බව සහ විශ්වසනීයත්වය ආගමික සාහිත්‍යයෙන් බලාපොරොත්තු වෙන එක මෝඩකමක්. 

ඒ වගේම ආගමික සාහිත්‍යයේ හෝ ආගමික සංස්කෘතියේ අඩුපාඩුවක් අල්ලාගෙන ආගමේ දාර්ශනික පදනමක් නෑ කියන්න හදන එකෙන් පෙනෙන්නෙ ඒ කෙනාගෙ යමක් අවබෝධ කරගැනීමේ නොහැකියාව සහ දාර්ශනික නූගත්කම පමණයි.

(දාර්ශනික නූගත්කම යනුවෙන් මා අදහස් කරන්නේ දර්ශනය පිළිබඳ උපාධි ගසා නැත කියන එක නොවෙයි. ලෝකයේ පිළිගත් විද්වතුන් විසින් ප්‍රාමාණික විශ්ලේෂණයකින් අනතුරුව යම් වලංගුභාවයක් ඇතැයි නිර්ණය කරන ලද යම් දර්ශනයක්, නිසිආකාර හැදරීමකින් තොරව ඒ ගැන අපරිණත අවසන් නිගමනයකට එලැඹීමේ ප්‍රවේශයයි.)

කාල යන්ත්‍රය සහ භෞතිකවාදියෝ

ඔන්න ඉතින් අපේ හේතුවාදී, භෞතිකවාදී අති පණ්ඩිත මල්ලිලා දෙන්නෙකුට දවසක් හම්බුණාලු කාල යන්ත්‍රයක් (Time Machine). නොදන්න අයට දැන ගන්නයි කියන්නෙ, හේතුවාදීන් කියන්නේ භෞතික පැහැදිලි කිරීමක් කරන්න බැරි, විද්‍යාත්මක උපකරණවලට අහුවෙන්නෙ නැති සේරම මිත්‍යාවන් කියලා ෂුවර් පිටම කියන මහා ප්‍රාඥයෝ නේ. එයාල ගැන තවත් කියනවනම් එයාලගෙ අසාමාන්‍ය බුද්ධි මට්ටමට (අයින්ස්ටයිනුත් පරාදයි!) ඔය ආගම් වගේ සිල්ලර කෑලි ගෝචර වෙන්නේ නැති නිසා එයාල නිර්-ආගමික යි (හරි ආඩම්බරෙන් ඒ බව කියන්නෙ).



කාල යන්ත්‍රය(Time Machine) කිව්වෙ අතීතයට, අනාගතයට කාලය, අවකාශය හරහා තරණය කරන්න පුළුවන් මැෂිමකටනේ. තමන්ට යන්න ඕන කාලය ක්‍රි.ව. වලින් හරි ක්‍රි.පූ. වලින් හරි සෙට් කරල, ප්‍රාධූර්භූත වෙන්න ඕන රටත් සෙට් කරල 'ඕකේ' කරන්න විතරයි තියෙන්නේ. 

ඉතින් අපේ ගොයියො දෙන්න වැඩර්ල වගේ සෙට් කළා ක්‍රි.ව. 1687. රට විදියට එංගලන්තය සිලෙක්ට් කලා. පොෂ් රටනෙ. එබුව රතු පාටට දිලිසි දිලිසි තිබුණ 'OK' රතු බට්න් එක. 

පොඩි අවුලක් වුනානේ. මැෂින් එකේ සුළු කාර්මික දෝෂයක් තිබුන නිසාත්, සීට් බෙල්ට් නොදා හිටපු නිසාත් මේක වේගෙන් කැරකෙනකොට අපේ ප්‍රාඥයො දෙන්නගෙ විශාල ඔලු දෙක හැප්පුනා මැෂිමෙ යකඩ බිත්තියක. හරි වැඩේ තමයි, දුමින්ද සිල්වට වෙඩි වැදුන වගේ මතකය, නූතන දැනුම් සම්භාරයත් එක්කම ඉරේස් වෙලා ගියානෙ මේ දෙන්නගෙම. 

ඔන්න දැන් මැෂිම කැරකිල ඉවරවෙලා නතරවෙලා. ඩබල ඇහැ ඇරලා බලනකොට ඇපල් වත්තක් මැද. කොන්ඩෙ වවාගත්ත ටිකක් පිස්සු වගේ ලුක් එකක් තියෙන පොරක් ගල් බංකුවක් උඩට වෙලා පොතක් බලනව. අපේ පොරවල් දැන් හැංගිලා බලන් ඉන්නව.



වැඩි වෙලාවක් යන්න උනේ නෑ, "තහ්" ගාල කොන්ඩෙ වවාගත්ත පොරගෙ ඔලුවට වැටෙනව ගෙඩියක්. ඇපලක්.

"හොඳ වෙලාවට ගහ පොල් ගහක් නොවුනෙ!" අපේ මලයෙකුට කියවුනා.

දැන් පොර (කොණ්ඩෙ වවාගත්තු ඩයල් එක) අහස පොළොව ගැටගහන්න කල්පනා කරනව. මේ අතරෙ අපේ බුවාල මිනිහට කිට්ටු කළා.

"ඔයාල කවුද? මම සර් අයිසෙක් නිවුටන්."

"හඳුනාගැනීම සතුටක් අයිසෙ නිවුටන්" 

(අපි මිනිස්සුන්ට ඔය 'සර්', 'ඩොක්ටර්', 'ප්‍රොෆෙසර්' වගේ කැටයම් දාන්නෙ නෑනෙ නම මුළට. එතකොට උන් ලොකු වෙනව. ඒ නිසා කෙළින්ම නම කියල කතා කරනව. මිනිස්සු කවුරුත් එකයි. කෙළින්ම බෝක්කුවක් උඩ ජොයින්ට් එකක් දාන රස්තියාදුකාරයයි, ප්‍රොෆෙසර් කාරයයි ඔය ඔක්කොම එකයි. මොකද දෙන්නගෙම තියෙන්නෙ එකම රතු ලේ නෙ. ආයෙ මොකටද එකෙක් විතරක් ලොකු කරන්නෙ.)

"ඔයාල හොඳ වෙලාවට ආවෙ. මම මේ දැන් විශිෂ්ට නිගමනයකට ආවා. මම හොයාගත්ත මේ ඇපල් ගෙඩිය බිම වැටෙන්න හේතුව."

"හේතුව? මොකද්ද?"

"ගුරුත්වාකර්ෂණ බලය."

"කෝ කොහෙද එහෙම එකක් තියෙන්නෙ. අපිටනම් පේන්නෙ නෑ. මොන උපකරණෙටද ඕක අහුවෙන්නෙ?"

"ඒක අදෘෂ්‍යමානයි. හොඳයි මම ඔප්පු කරන්නම්. සෛධාන්තිකව. ඒකට මාස කීපයක් යයි. හොඳයි, එහෙනම් කියන්න බලන්න ඔයාල හිතන හේතුව ඒ ඇපල් ගෙඩිය බිම වැටුන."

නක්කල් හිනාවක් කට කොනකට නගාගත් අපේ බුවා,

"අපිනම් ඔය අදෘෂ්‍යමාන බලවේග විශ්වාස කරන්නේ නෑ. ඕව පට්ටපල් බොරු. මිථ්‍යාවන් පස්සෙ දුවන්න එපා සහෝදරයා. හේතුව නේද? හේතුව තමයි ඒ ගෙඩිය නටුවෙන් ගිලිහිච්ච එක. නැට්ට කැඩුන්නැත්තන් ඒක තාම ගහේ!. හොඳයි නැද්ද?"

නිවුටන් කාරයා ඉංගිරිසියෙන් කුණුහරුප දෙකක් කියලා අන්තිමට මෙහෙමත් කිවුවා:

"දුප්: පරයෝ මගෙ වත්තට අනවසරෙන් ඇවිත් මාවම චාටර් කරනව. පලයව් ආපු තූත්තුකුඩියකට තොලොන්චි වෙලා මගේ දෑහට නොපෙනී."

ඩබල හනිකට මැෂිමට ගොඩ වෙලා අතට අහුවෙව්ච ඉලක්කම් හතරක් ඩයල් කළා. ඩයල් වුනේ 1895. ටාගට් ඩෙස්ටිනේෂන් ඇවිල්ලා ජර්මනිය.

ප්‍රාධූර්භූත වුනා ලැබ් එකක් ඇතුළේ. පොරක් වීදුරු ටියුබ් එකක් ඇතුළෙ තව මොකක්ද අටවගෙන හෙන බර වැඩක්.



"හෙලෝ. ඔයාල කොහෙන්ද ආවෙ? මේ දොරත් වහල තියෙද්දි?. කමක් නෑ. මම විලියම් රොන්ජන්."

"හඳුනාගැනීම සතුටක්, රන්ජන්. ඔය මොකද්ද ඔය අට්ටාලෙ?"

"මේකද? මම හැදුවා ඇසට නොපෙනෙන කිරණ වර්ගයක්. මේක කොච්චර ප්‍රබලද කිව්වොත් අපේ ඇඟේ මස් පසාරු කරගෙන අනිත් පැත්තෙන් මතුවෙනවා. පොඩ්ඩක් ඉන්න මම ඩිමෝස්ට්‍රෂන් එකක් දෙන්නම් ලෙසටම."



මෙහෙම කියපු පොර බලෙන්ම වගේ අපේ බුවෙක් ඇදලා අරගෙන මැෂිම උඩින් අත තියලා තුනී ප්ලාස්ටික් ෆොයිල් එකක් මැෂිමට දාලා මැෂිම ක්‍රියාත්මක කළා. ටික වෙලාවකින් බැලින්නම් කළු ෆොයිල් එකේ තීන්ත මිනිස් අතක ඇටසැකිල්ලක රටාවට පිච්චිලා.

"මෙහෙම වෙන්නෙ මේ ඉන්විසිබල් රේ එක ඔයාගෙ ඇඟ ඇතුළෙන් ගමන් කරපු නිසා. මම ඒකෙ ඉන්ටෙන්සිටි එක- ඒ කියන්නෙ තීවෘතාව පාලනය කරපු නිසා ඔයාගෙ අස්ථි හරහා ඒ කිරණ ගමන් කළේ නෑ. ඒක නිසයි මේ විදියේ රිසල්ට් එකක් ආවේ." ජර්මන් කාරයා කියාගෙන එනකොටම අපෙ බුවෙක් පැනලා,

"ඇටේ තමයි. බලපන් මචං අපිත් හරි තැනකට තමයි ගොඩ බැහැලා තියෙන්නේ. මේ හලෝ. අපිව තම්බන්න හිතුවා මදි! ඉන්විසිබල් නේද? ඒ කියන්නෙ අදෘෂ්‍යමාන, අපි ඕවා විශ්වාස කරන්නෙ නෑ. තමුසෙ මහ බොරුකාරයෙක්නෙ ඕයි. ඕව කියනවා කොණ්ඩෙ බැඳපු චීනුන්ට!!"

පොරට අම්බානක සලකපු අපේ වීරයෝ දෙන්නා ආයෙත් මැෂිමට ගොඩ වෙලා 1608, නෙදර්ලන්තය ඩයල් කළා.

ඒ පාර මොන මඟුලක්ද? කණ්ණාඩි සාප්පුවක් ඇතුළේ.
පොරවල් දෙකක් බට, වීදුරු කෑළි අටවලා මොකද්ද අටවනවා.



"හෙලෝ, අළුත් කස්ටමර්ලා වගේ. මම හාන්ස් ලිපර්ෂයි, මේ මගේ බොක්ක, zසචාරියස් ජැන්සන්. මොකද කෙරෙන්න ඕනෑ."

"මේ මොකද්ද?"

"මේක තමයි ලෝකෙ පළමුවෙනි සංයුක්ත අන්වීක්ෂය. මේකෙන් ඔය දිලීර වගේ ක්ෂුද්‍ර ජීවීන් බලන්න පුළුවන්."

"ක්ෂුද්‍ර ජීවීන්?"

"ඒ කියන්නෙ?"

"ඇසට නොපෙනෙන ඉතා කුඩා ජීවීන් විශේෂයක්"

අපේ බුවෙකුට බකස් ගාල හිනායන්න ආවත් බොහොම අමාරුවෙන් හිනාව තදකරගෙන මෙහෙම ඇහුවා.

"හරි. ක්ෂුද්‍ර ජීවීන් ඉන්නවාමයයි කියමු. කොහොමද ඔප්පු කරන්නේ?"

හාන්ස් කියන පොර ඇතුළට ගිහින් ගෙනාවා දවස් ගාණකට කළින් කාල ඉතිරි වෙලා නොහෝදා තිබුණ පෘට් සැලඩ් කෝප්පයක්.

"බලන්න. මේක පුස් කාලා තියෙන හැටි. මෙහෙම වෙන්නෙ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය නිසා."

"ආ ඇත්තද?"  කෝචොක් හිනාවක් දාපු අපේ වීරයා

"දැන් මේකෙන් කොහොමද ක්ෂුද්‍ර ජීවීන් කියල කොටසක් ඉන්නව කියල ඔප්පු වෙන්නෙ?"

ඒ පාරනම් නෙදර්ලන්ත කාරයන්ට මළම පැන්නා.

"හරි පොඩ්ඩක් ඉන්නවකො ඕයි මේ මයික්‍රස්කෝප් එක හදාගන්නකම්. එතකොට තමුසෙටම බලාගන්න පුළුවන්."

"තමුසෙගෙ බඩකඩුත්තුව තියාගන්නව ඕයි. මෙතන කෙප්ප කෙළින්නෙ නැතුව. අපි යනවා."

ඒ පාර ඩයල් කළා 1620, ඉතාලිය. කෙළින්ම ඉතාලියෙ පීසා කුළුන පාමුල.
තව රැවුල්කාර පොරක්, පුළුන් රාත්තලකුයි, යකඩ රාත්තලකුයි උස්සගෙන කුළුන මුදුනට නගිනවා.



"ඒ ගැලීලියෝ ගැළලි." ළඟ හිටපු එකෙක් කිවුවා.
"ඔය දෙකම පොළොවට එන්න ගතවෙන්නෙ එකම කාලයක් කියලයි මිනිහ ඔප්පු කරන්න හදන්නෙ. ඒ කියන්නෙ ඇරිස්ටෝටල් කියපු 'බර එක කළින් එනවා' කියන එක බොරු කරන්න."

ටික වෙලාවකින් රැවුල්කාර පොර බිමට බැස්සා. කතාවෙන් කතාවෙන් අපේ බුවාල පොරත් එක්ක හෙනට ෆිට් උණා. මිහිනගෙ ගෙදර ඩිනර් එකකටත් අපේ බුවාට ඉන්විටේෂන් ලැබුණ.

මිනිහගෙ ගෙදරත් තිබුණ යකඩ බම්බුවකට වීදුරු කෑලි ගහල හදපු අමුතු බාණ්ඩයක්.



"ඕකට කියන්නෙ දුරේක්ෂය කියල. මම තමයි ඕක මේ තරම් දියුණු තත්වෙට ගෙනාවෙ."

"ඉතින් මොනාද මේ 'බම්බුවෙන්' කරන්න පුළුවන්?"

"ඇයි ලෝකෙ ගෝලාකාරයි කියන එක ඔප්පු කරන්න පුළුවන්."

"ලෝකෙ ගෝලාකාරයි? ඒ මොන කුණුහරුපයක්ද? මෙච්චර ලස්සනට පැතළියට තියෙන පොළොව ගෝලාකාරයි කියල මිනිහ කියන්නෙ. මාර පොරක්."

"ඒකට සෑහෙන කාලයක් මේකෙන් නිරීක්ෂණය කරන්න ඕනේ. ක්‍රි.ව. 1500දි විතර මැගලන් කියන පෘතුගීසිකාරයා ගියපු චාරිකාවෙන් ඒ සංකල්පය ඔප්පු වෙනව."



"ඒක කොහොමද එහෙම කියන්නෙ? කවුද දන්නෙ මිනිහ රවුමක් ගහල වෙන තැනකින් ගොඩ වුනාද කියල. ඒකට ලෝකෙ ගෝලාකාරම වෙන්න ඕන නෑනෙ." මෙහෙම කියපු අපේ පොර රතු පෑනක් අරන් මැගලන් ගියපු පාර මෙහෙම ලකුණු කළා. (ඔය පින්තූරෙ තියෙන්නෙ අපේ පොර මාක් කරපු සිතියම.)



කොහොමහරි ගැලීලියෝවත් මඥ්ඥං කරල අපේ වීරයො දෙන්න ආපහු යහතින් කාල යන්ත්‍රයට ගොඩ වුණා.

මේ පාර ගැහුව ලොකු අංකයක්. 1911 වගේ.

පොරක් චිත්‍රයක් දිහා බලාගෙන ඉන්නව මෙලෝ රහක් නැතුව. මැද රවුමකුයි, ඒක වටේ රවුමට යන මැස්සො වගේ.



"මේ පොරනම් කළින් උන්ට වඩා ඩීසන් විදියට ඇඳන් ඉන්නව නේද?" අපේ එකෙක් කණට කරල අනිකට කිවුවා.

"මොකක්ද ඔය?"

"මේක තමයි පරමාණුක ආකෘතිය."

"මොකක්?"

"පරමාණුව කියන්නෙ පදාර්ථයේ මූලිකම තැනුම් ඒකකය. මේ තියෙන්නෙ ඒකෙ ව්‍යුහය. මැද තියෙන්නෙ න්‍යෂ්ඨිය. ඒකෙ ප්‍රෝටෝන, න්‍යුට්‍රෝන තියෙනව. වටේට ඉලෙක්ට්‍රෝන කක්ෂවල යනව."

අපේ වීරයෙකුට බකස් ගාල සිනා යනව.

"ඔයා දැක්කද?"

"නෑ. නමුත් එහෙම බවට සාධක තියෙනව."

"කතා වැඩක් නෑ. ඔයා දැක්කද නැද්ද?"

"තාම ඉලෙක්ට්‍රන් මයික්‍රස්කෝප් එක හදල නෑ. හදපු දවසට...."

"බලමු නේද?"

"කොහේද යන පිස්සෙක්..." මෙහෙම කියාගෙන අපේ ඩබල මැෂිමට ගොඩ වුණා.

කැරකුවා මීටරේ ක්‍රි.පූ. 490ට. ඉන්දියාව. රාත්‍රී කාලය.
කහ රෙදි පොරවගත්ත මනුස්සයෙකුට එවැනිම පුද්ගලයෙක් දේශනයක් දෙනවා.

"අර අඹරේ දිලෙන තරුව බලන්න. ඒක එතැන මේ මොහොතේ තියෙනාවායැයි ඔබ සිතනවාද?"

"ඔව්. ඒක එතැන තියෙනවා."

"වැරදියි. ඒක දැන් එතැන නෑ. මීට වසර කිහිපයකට කළින් එය පුපුරා ගියා. දැන් එතැන ඇත්තේ පුපුරායාමට පෙර, අවසන්වරට ඉන් නිකුත් වූ ආලෝකය පමණයි."

මේක අහගෙන හිටපු අපේ පොරක් මෙහෙම කියන ගමන් යානයට ගොඩ වුණා.

"මුන් ඔක්කොටම පිස්සු. මෙච්චර යස අගේට දිලිසි දිලිසි පේන තරුව අවුරුදු ගාණකට කළින් පිපුරුවලු!."

"පිස්සු හැදෙනවා. අනේ අම්මපා, මේ පට්ට කෙබර විශ්වාස කරන මෝඩයනුත් ඉන්නවානේ. ඒ අතින් අපි කොච්චර බුද්ධිමත්ද? "

Friday, December 6, 2013

අයි ඈම් ප්‍රවුඩ් ටු බී අ රැෂනලිස්ට්


ඔන්න අපිනම් ඉතින් ආගමක් අදහන්නෙ නෑ. මොකද අපි ආගම් අදහන අයට වඩා ගොඩක් බුද්ධිමත්නෙ.

ඔය ආගමික නායකයො කියන බුද්ධ, ජේසු, නබි වගේ අයට වඩා බොහොම බුද්ධිමත් කාල් මාක්ස්, ලෙනින්, කොවූර් වගේ අයගෙ පෙන්වා දීම් පිළිගන්න අය.

කොටින්ම බුදුන්ට මාක්ස් එක්ක හැරෙන්න්වත් බෑ. 

මාක්ස්වාදීන් වන අපි නම් 'කලෙක්ටිව් වර්ක්ස් ඔෆ් මාක්ස් ඇන්ඩ් එන්ගල්ස්' තියෙන දෙයක් හැර වෙන කිසිම දෙයක් පරම සත්‍යය විදියට පිළිගන්නෙ නෑ. 

ඉස්ලාම් කාරයා කුරාණයෙ අකුරක් ගානෙ විශ්වාස කරන එක අන්තිම වැරදියි, කුරුස කාරය බයිබලේ ඔලුව උඩ තියාගෙන ඉන්න එකත් පට්ටම වැරදියි. ඒ වුනාට මාක්ස් එංගල්ස් ප්‍රකාශන එක්ක තර්ක කරන්න එන්න එපා. මොකද ඒකෙ තියෙන අකුරක් ගානෙ 100% හරි. සර්ව සම්පූර්ණයි, පරිපූර්ණයි. මොකක් කිවුව? කාල් මාක්ස්ගෙ සමහර එව්ව යල් පැනපුව? ඕවට එන්න එපා, මරාගෙන මැරෙනව යකෝ! සංශෝධන? මෙතන යකා අවුස්සගන්න එපා. ඒව කවදාවත් වෙනස් වෙන්න ඕන ඒව නොමෙයි. අකාලිකයි. මේ ලෝකෙ බිහිවෙච්ච 100% පර්ෆෙක්ට්, ඒ කියන්නෙ පරිපූර්ණ මිනිස්සු තමයි සමාජවාදී චින්තකයො. එහෙම අයගෙන් බිහිවෙන්නෙ සර්ව සම්පූර්ණ, හැමදාටම වලංගු දර්ශන මිසක් ඔය ආගම් වගේ කාලෙ හැටියට අවලංගු වෙන ඒව නොවෙයි.

බලන්න. නබි ඉස්ලාම් ආගම හැදුවෙ කාන්තාර ගෝත්‍රික සමාජයකට. ජේසු, බුද්ධ තමන්ගෙ ආගම් හැදුවෙ අවුරුදු දාස් ගාණකට කළින් ඒ ඒ සමාජෙ හැටියට.ඒ නිසා ඒව අදට හරියන්නෙ නෑ. නමුත් බලන්න ලංකාවෙ අද තත්වෙ. හරියටම 1917දි රුසියන් විප්ලවය සිදුවෙන්න කළින් රුසියාවෙ තිබුන සමාජ, ආර්ථික තත්ත්වයමයි. ආයෙ ඇරපු අතක් නෑ. විප්ලවයක් කරන්න මරු. 

ලෝකෙ එකම සාර්ථක දේශපාලන ක්‍රමය හැටියට තියෙන සමාජවාදෙ.
සමහරු අපෙන් අහනව ලෝකෙ සමාජවාදෙන් දියුණු වෙච්ච රටවල් නම් කරන්න කියල. ඇයි නැත්තෙ. 
රුසියාව (සමාජවාදී රුසියාවට අමරිකාව කෙළවපු එක වෙනම කතාවක්. ඒක සමාජවාදෙ වැරැද්දක් නෙමෙයිනෙ.), කියුබාව, උතුරු කොරියාව.....
මොකක් ඇහුව? "සමාජවාදය ඔච්චර සාර්ථකනම් ඇයි ලෝකෙ දියුණු ගොඩක් රටවල් බොහොමයක් ඒක නැතුව වෙන ආර්ථික ක්‍රමවලට ගිහිල්ල තියෙන්නෙ?"
පසුගාමී, ධනේෂ්වර ක්‍රමයක් තුළ පීඩිතයාට තැනක් නෑ. ඔය සුළු ධනේශ්වර චින්තනය වෙනස් කරගන්න සහෝදරයා. ප්‍රතිගාමියෙක් වෙන්න එපා.
"එතකොට ඇයි උතුරු කොරියාවට වඩා දකුණු කොරියාව දියුණු?"

ඒ වගේද උතුරු කොරියාව බලවත් රටවලින් ගේම ඉල්ලන එක?

සමහර ආගම් කාරයෝ වෙනුවෙන් බුද්ධිමත් යයි කියන විද්‍යාඥයො කඩේ ගියපු එක ෆට්ට චාටර්. ඔය අයින්ස්ටයින් කියන හාදය කියල තියෙනවනෙ.
"The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism." 
ඒ යකාට හොඳටම පිස්සු. අයින්ස්ටයින් ගිය සියවසේ ලොකුම බුද්ධිමතා කියන්නෙ කවුද? අයින්ස්ටයින් මාක්ස්, ලෙනින් එක්ක බලනකොට බාලාංශ පොරක්.
ඒක නිසා මිනිහ කියන ඒව ගණන් ගන්න හොඳ නෑ. 

ආයෙ නීල්ස් බෝර් කියල හාදයෙකුත් ඒ මෝඩ කතාවට පෝර දාල තියෙනව කියනවනේ. මෙන්න පොරගෙ නියම ගොන් කතාව:
"For a parallel to the lesson of atomic theory...[we must turn] to those kinds of epistemological problems with which already thinkers like the Buddha and Lao Tzu have been confronted, when trying to harmonize our position as spectators and actors in the great drama of existence.". මේවගේ පිස්සො නොබෙල් තෑග්ගට නිර්දේශ කරපු පිස්සො කවුද හැබෑට?

උග්‍ර භෞතිකවාදියෙක් වෙච්ච "කළුකුම් න්‍යාය" මගින් විද්‍යා ලෝකෙ උඩු යටකුරු කළායැයි කියන (අපිට මොකෝ උඩු යටිකුරු බැරිනම් බඩ පිණුම් ගැහුවත්), නොබෙල් ත්‍යාගලාභී (හොරට) බර්ට්‍රන්ඩ් රසල්, අඩිය ගහල ඉන්නකොට පොරට වැරදිලා මෙහෙම කියවිලා.
"Buddhism is a combination of both speculative and scientific philosophy. It advocates the scientific method and pursues that to a finality that may be called Rationalistic. In it are to be found answers to such questions of interest as: 'What is mind and matter? Of them, which is of greater importance? Is the universe moving towards a goal? What is man's position? Is there living that is noble?' It takes up where science cannot lead because of the limitations of the latter's instruments. Its conquests are those of the mind."

තව ආතර් සී ක්ලාක් කියල හාදයෙක් වළ පයයි ගොඩ පයයි තියාගෙන කොයිල් වෙලා (ස්නායු දුර්වල වෙලා) ඉන්නකොට සිහි විකලෙන් පොරට කියවෙච්ච කතා නම් කොහෙත්ම ගණන් ගන්න ඕන නෑ.

මුන් ඔක්කොටම පිස්සු. මාක්ස් වාදෙත් එක්ක බලනකොට අලගු තියන්නවත් බැරි බුද්ධගෙ හිතළු ගැන වර්ණනා කරල මේ තරම් සර්ව සම්පූර්ණ මාක්ස්වාදය "ඩොග්මැටික්" කියන්න? 
(එහෙම කියල තියෙන්නෙ 'කාල් පොපර්' කියල අහලවත් නැති පිස්සු ඩයල් එකක්. මෙන්න පොරගෙ ගොන් විචාරය..."Here was an attitude utterly different to the dogmatic attitude of Marx, Freud, Adler, and even more so that of their followers. ")

හේතුවාදීන්, භෞතිකවාදීන් විදියට අපේ මතය නම් වෙනස්. "සෑම සිදුවීමකටම භෞතික පැහැදිලි කිරීමක් ඇත." කියලනේ අපි පිළිගන්නෙ. විද්‍යාත්මක උපකරණ වලට අහුනොවෙන සහ පැහැදිළි සාක්ෂි නැති ඔක්කොම පට්ටපල් බොරු. මිත්‍යාවන්. අපි ඔය බුද්ධාම් කාරයෝ පිළිගන්න "පුනර්භවය", "නිවන" වගේ සංකල්ප සම්පූර්ණ මිත්‍යාවන් කියන අතිශය තර්කාණුකූල, බුද්ධිමත්, වියත් අවසන් නිගමනයට එලැඹෙන්නෙ ඒ අනුවයි. කොහොමද අපේ රැෂනල් තින්කින්. පට්ට මොළේ නේ?

නිර්-ආගමික අපි දෙගොල්ලම කොහොමත් ආගම් / සමාජවාදය හැර අනිත් දර්ශන පිළිගන්න අනිත් අයට වඩා පට්ට බුද්ධිමත්. හෙණ රැඩිකල්. 'අවුට් ඔෆ්ද බොක්ස්' හිතන්නෙ.

ඒක නිසා තමයි අපිට ඔය සඟිස්කෘතික, සීමා, මායිම් මොකුත් තකන්න ඕනෙ නැත්තෙ. කොටින්ම ආගම් අදහන උන් පවට/දේව උදහසට බයෙන් නොකර ඉන්න, උන් උන් අතරෙ සම්මත කරගෙන ඉන්න ඊනියා සදාචාරෙ අපිට අදාල නොවෙන්නෙ. කොටින්ම උන් 'තුප්පහි' යයි කියන ඕන වැඩක් අපිට කරන්න පුළුවන්. උන් කළොත් තමයි උන්ට පවු. අපි ඒවයින් නිදහස්. නීතියක් නැත්නම් බඩු ගැසීමේ සිට මිනී මැරීම දක්වාම ඕන දෙයක් කරන්න පුළුවන්. (සමාජවාදීන් වන අපිටනම් කොහොමත් පසුගාමී ධනපති සතුරෙක් මරන එක ශ්‍රේෂ්ඨ වැඩක්.) යමක් කමක් හම්බකරගත්ත උන්ට ඉරිසියා කරන්න නම් ඉතින් කාගෙන්වත්, මොනම නීතියකින්වත් ලයිසන් ගන්න ඕනෙ නෑනෙ.

ඔයාකාරයෙන් පට්ට නිදහසක් තියෙන්නේ නිර්-ආගමික වීම තුළ. මේක තේරෙන්නෙ නෑනෙ මේ ආගම් බදාගෙන ඉන්න මෝඩ හැත්තට. අම්මපා..

"බෞද්ධ දර්ශනයට බනින්න කළින් ඒ ගැන හදාරල එන්න" කියන සුනෙත් වගේ සම්ප්‍රදායික පොරවල්ට නියම ආමන්ත්‍රණය ("වේ...ගෙ පුතා") දුන්නෙ අපේ තරුණ පරපුරේ වීරයා, තිළිණ එදිරිසිංහ. ලෝකෙ හැම දර්ශනයක්ම ගැඹුරෙන් හදාරල අන්තිමට ඒ ඔක්කොම අතරින් සමාජවාදෙ හැර අනිත් ඔක්කොම වැරදියි කියන්න තරම් වයසට ඔරොත්තු නොදෙන තරම් දාර්ශනික දැනුම් සම්භාරයක් තියෙන්නෙ අපේ කොල්ලන්ට. දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධි ගැහුවයි කියන සුනෙත්ල වගේ කැම්පස් ගුරාල කොහෙද තිළිණ වගේ උගත්, විද්වත් තරුණයොත් එක්ක හැප්පෙන්නෙ? බෞද්ධ දර්ශනේ මොන කෙණ්ගෙඩියක්ද? සමාජවාදෙත් එක්ක බලනකොට...මොනව ඇහුව? කොහොමද එහෙම කියන්නෙ? සාධක? ඒව ඕන නෑ. හරි දේ (සමාජවාදෙ) හරි. ආයෙ කතා ඕන නෑ. මොකද, ආයෙත් සුනෙත්ට වගේ "වේ...ගෙ පුතා" කියල අහගන්න ඕනද? එන්න එපා සමාජවාදෙ විවේචනය/ප්‍රශ්න කරන්න. අපි විචාර බුද්ධියෙන් සමාජවාදය වැළඳගත්තු, සමාජවාදෙට පණ වගේ ආදරේ කරන මිනිස්සු. මළ පනිනවා හරිද?

අපේ රැඩිකල් චින්තනය නිසා අපේ සහෝදර සහෝදරියො බුකියෙ පට්ට වීරයෝ වෙලා ඉන්නෙ. මේ ලඟදි යශෝදරාවට ඡන්නත් එක්ක අනාචාරෙ හැසිරෙන්න හිතුණා කියල කියපු සුලක්ඛනා සමරසේන සහෝදරී පට්ට රැඩිකල් වීරවරියක් වෙලානෙ.

ගතානුගතිකව හිතන ඔය සුනෙත්ලා වගේ අයට ඕව කවද තේරෙයිද මන්ද? මිනිහ ආගමක් අදහනකම් අපි වගේ රැඩිකල් බුද්ධිමතෙක් වෙන්න කවදාවත් චාන්ස් එකක් නෑ...

Saturday, November 30, 2013

ඛේදවාචකයේ අතුරු කතා

මා ඉදිරියේ බුර බුරා නැගෙන ගින්නකි. තත්පර කිහිපයකට පෙර මා සිටියේ මේ ගොඩනැගිල්ල තුළ බව ඇදහීමටවත් නොහැකිය...
සතර දෙසින්ම ඇසෙන්නේ අඳෝනාය.
"අනේ මගේ සහතික ටික..."
"මොන සහතිකද?"
"මම ජීවිත කාලෙම නව නිපැයුම් වලින් දිනපු ඒවා. කුටියෙ බිත්තියෙ අලවල තිබුනෙ"
පළාතම දෙදරවමින් මහා පිපුරුම් හඬක් ඇසේ...
"ඒ මගේ ෆ්‍රිජ් එක..මම අඳුනන කඩේකින් ඉල්ලන් ආවේ..."
යෝගට් ආදී ආහාර නිෂ්පාදන ප්‍රදර්ශනයට තබා තිබූ දැවැන්ත ප්‍රදර්ශක ශීතකරණය මට එකෙණෙහිම සිහිවිය.

කෝ මගේ දරුවෝ..?
මම අසිහියෙන් මෙන් සෙනග පීරුවෙමි. 
චරක එහි සිටිනු දැක ඇඟට ලේ ටිකක් ඉණුවත් තවත් දරුවෙකු ගින්නට මැදි වූවාදැයි මසිත බියෙන් සැළෙයි.
"සර්..හේරත් රොබෝව බේරගෙන" චරකගේ ස්වරයේ වූයේ දුකක්ද සතුටක්ද යන්න පැහැදිලි නොවීය.
"රොබොට්ට යකාට ගියාවේ. කොල්ල ඉන්නවද..?" පෙරලා අසන්නට ධෛර්‍යක් කොහෙන් ආවාදැයි නොදනිමි.
හේරත්ද පිරිස අතරින් මතුවනු දුටුවෙන් මද අස්වැසිල්ලක් ලැබුණද සහෝදර භෞතික විද්‍යා දෙපාර්තමේන්තුවේ හිතවතුන් සිහිවී නැවතත් සැනසීම පළා යනු දැනින.

මා අත්සන පිට විශ්වවිද්‍යාලයේ ගේට්ටුවෙන් පිටවූ ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ වලට සිදුවූ දේ පිළිබඳ සාක්ෂ්‍ය එකතු කිරීමට කැමරාව ක්‍රියාත්මක කරද්දී අපේ පිරිස සෙනග ගොඩේ යළිදු මට මගහැරිණ.
වාසනාවකට ජංගම දුරකථන සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මක වූයෙන් පිරිසට ගේට්ටු අංක 4ට පැමිණෙන ලෙස උපදෙස් දෙමින් අහෙන් මෙහෙන් රිංගා ඒ දෙසට ගමන් කළෙමි.
යළිත් වරක් දුරකථනය නාද වෙයි. ඒ චරකය.
"සර්, සිසිල සර් (අප කණ්ඩායමේ භෞතික විද්‍යා ආචාර්ය)  එක්ක කරන්න බෑ. ආයෙත් ගිණිගන්න බිල්ඩින් එකට ගියා. බඩු වගයක් ගන්න."
පුදුම මනුස්සයක්නේ. අනතුරක් කරගනීද දන්නෙ නෑ. ගොඩනැගිල්ලේ වහළයේ කොටස් ගිණිගෙන දැවී වැටෙනු දුටිමි.
මම භෞතික විද්‍යා සඟයාට ඇමතුමක් ගත්තෙමි. අනපේක්ෂිත ලෙසට ඔහු ඇමතුම ගත්තේය!
"සිසිල ඔයා මොකද කරන්නේ? ඔයාගෙ බඩු ටික අපි ගාව තියෙනවා." මා පැවසූයේ බොරුවකි. ඔහු එය විශ්වාස කළේද නැත.
(ඔහු ආරක්ෂිතව යළි පැමිණි විට ජීවිත අවධානමක් දරාගෙන එසේ කළේ ඇයිදැයි මා ඇසීමි. 
"මේව කොච්චර අමාරුවෙන්ද කැම්පස් එකට ගත්තේ...රටේ සල්ලි. අපරාදේ. තව ළමයි කීයක් මේවගෙන් ඉගෙන ගනීද?")

කෙසේ හෝ විශ්වවිද්‍යාලයේ බසය සමීපයට එකතු වීමට අප කණ්ඩායමට අවකාශ ලැබුණි.
වෙනත් සරසවියක සිසුවෙකු එදෙසට දිව එනු දුටිමි.
"කවුද ඔයාලගෙ සර්?"
ප්‍රදර්ශකවරයෙකු විසින් මා පෙන්වනු ලැබීය.
"සර්. අපි ...... කැම්පස්. අපේ සංජීවනී මැඩම්." ඔහු දුරකථනය මා අත තබයි.
"හෙලෝ සංජීවනී. මම සුනෙත් කතාකරන්නෙ රුහුණ යුනිවර්සිටි ඩිපාර්ට්මන්ට් කෝඩිනේටර්."
"ඔයාලගෙ හැමෝම ඉන්නවද?"
"ඔව්. ඉන්නවා."
ඇමතුම විසන්ධි විය.
වෙනත් සරසවියක ආචාර්යවරියක් මගෙන් එසේ ඇසීමේ තේරුම කුමක්දැයි මා කල්පනා කළෙමි.
ඇය අතරමං වූ සිය දරුවෙකු සොයන බව මට කල්පනා වූයේ බොහෝ වේලාවකට පසුය.
කම්පනය නිසා ඇයට අවශ්‍ය තොරතුර අසාගත නොහැකි විය.

පැයකට පමණ පසු මා යළි දැවුණු ගොඩනැගිල්ල දෙසට පියමැන්නේ සිදුවූ හානිය පිළිබඳ වඩාත් පැහැදිළි සාක්ෂ්‍ය එක් රැස් කිරීමටය.
මේ වනවිට තත්ත්වය තරමක් සන්සුන් වී තිබුණි. ගිණි නිවන හමුදාව අස්සයා ගිය පසු ඉස්තාලය වසමින් සිටිනු දක්නට ලැබිණ.

"සර්. තැඹිලි ගෙඩියක් බොමු." රැවුළ ගිනිගන්නා අතරේ සුරුට්ටු පත්තු කිරීමට සිත් නොවුවත් ඔහුගේ උපේක්ෂා සහගත ස්වරය මගේ තීරණය වෙනස් කරන්නට සමත් විය.
"හා. දෙන්නකො එහෙනම්. ඔයගොල්ලො කොහෙද පුතාල?"
"අපි රජරට. තැඹිලි කපන මැෂින් එකක් හැදුවේ. මේ ටෙස්ට් කරන්න ගෙනාපු ඒවා."
"මැෂින් එකේ ඉන්ජිනියරින් ඩිසයින් එහෙම කොහේ හරි සේව් කරලා තියේද?"
"නෑ. ගොඩක් අයගෙ අවුරුදු ගානක් කරපු රිසර්ච් වල හැමදෙයක්ම තිබුණෙ ලැප්ටොප්වල. ගොඩක් ඒව බේරගන්න බැරි වුනානේ."

විකට ඇඳුමින් සැරසුණු පාසල් දරුවන් පිරිසක් පසෙක හඬමින් සිටිනු දැකිය හැකිවිය.
"ඔයාල කොහෙද?"
"අපි ජැෆ්නා. මෙයාල බයවෙලා."

ආපසු එන අතරතුර උදෑසන සිදුවූ සිද්ධියක් මතක් විය.
"ආ යූ ෆ්‍රොම් ...... යුනිවර්සිටි?"
"යා. ගොට් ද ෆස්ට් ඩිග්‍රී ෆ්‍රොම් දෙය. යූ ෆ්‍රොම් සේම් යුනි?"
"යර්ස්. පාස්ඩ් අවුට් ලාස්ට් ඉයර්. දීස් ආර් මයි ක්‍රියේෂන්ස්"
අඩි ගණනක් උසට නිමැවූ මංගල කේක් කිහිපය, සැබැවින්ම බොහෝ අලංකාරය.

ඇයට සිදුවූයේ කුමක්දැයි මේ මොහොත වනවිටත් නොදනිමි.

ඛේදවාචකය

මේ දැවී අළුවී ගියේ දැව, ප්ලාස්ටික්, යකඩ වලින් නිමැවූ තවත් එක්තරා උපකරණ එකතුවක් නොවේ... මේ රටේ වටිනාම මිනිසුන් දෙදහසකගේ වටිනාම ජීවිත කාලයෙන් වසර කිහිපයකි....

එය හුදෙක් භෞතික හානියකට ලඝු කරන අයට නරුමයන් යයි පරිභව කරන්නට නොපැකිළෙමි....

ඒ වදන් කිහිපය, සිදුවූ ඛේදවාචකය විස්තර කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දනිමි. මන්ද, මා මෙය නම් කරන්නේ මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුම ඛේදවාචකය ලෙසට බැවිනි. 

උක්ත ප්‍රකාශය ('මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුම ඛේදවාචකය') අතිශයෝක්තියක් වන මාධ්‍යවේදීන් යයි කියාගත් සමූහයක්ද, බහුතරයක් අසංවේදී මිනිසුන්ද සිටින බවද ඉඳුරාම දනිමි. අරුමයක් නැත. අපමණ වෙහෙස දරා, දහසකුත් එකක් කැපකිරීම් කර, දහඩිය, කඳුල, සුසුම මතින් වැඩවූ දරුවකු අහිමි වීමේ වේදනාව ඇත්තේ පියෙකුට මිසක් අන් කිසිවෙකුට නොවන බැවිනි. එය දරාගත නොහෙන ශෝකයකි. කම්පනයකි. 

පියෙකුගේ කඳුළු ලෝයට නොපෙනෙතත් තමන් දහඩිය, කඳුළ, සුසුම මතින් ගොඩනැගූ ලෝකය අසුරු සැනින් දැවී අළුවී යනු දරාගත හැක්කේ කුමන පියෙකුටද? හඩා වැලපෙන හදවතින් සහ කඳුලෙන් සටහන් කර තබමි....









Tuesday, November 5, 2013

වාහනයක් ගන්නවා නම් අද හෙටම ගන්න වෙයි...

ඔබත් තමන්ගේම කියා වාහනයක් මිළදී ගැනීමට සිහින මවන්නෙක්ද..? එසේනම් ප්‍රමාද නොවන්න. චුයින්ගම් සමුළුව අවසන් වීමට පෙර එය යථාර්ථයක් බවට පත් කිරීමට දැඩි උත්සාහයක් ගන්න. නැතිනම් එය සදාකාලික සිහිනයක්ම පමණක් වනු ඇත.

මේ දිනවල මදක් පාවිච්චි කරන ලද හොඳ තත්ත්වයේ වාහනවල මිළ සීඝ්‍ර ලෙස පහත යාමක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස මාස කිහිපයකට ප්‍රථම රු. ලක්ෂ 23ක් පමණ වූ වසර 2000-2001 පමණ නිපදවූ හොඳ තත්ත්වයේ Nissan Sunny N16 වර්ගයේ මෝටර් රථයක් මේ දිනවල අලෙවි වන්නේ ලක්ෂ 18.25 වැනි මිළකටය. ලීසිං සමාගම්වල පොළී අනුපාතිකයද සැලකිය යුතු ප්‍රතිශතයකින් පහළ බැස ඇත.
මීට ආසන්නම හේතුව වශයෙන් දැක්විය හැක්කේ වෘත්තිකයින්ට ලබාදෙන වාහන බලපත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් රට තුළ සංසරණය වීමයි. ඒ අනුව තමා දැනට භාවිත කරන රථය කීයකට හෝ තල්ලු කර බලපත්‍ර මෝටර් රථයක් ගැනීමට බොහෝ දෙනා උත්සුක වෙනු දැකිය හැකිය. ඒ අනුව ඔබට අවම වශයෙන් මිලියන 1.6 ක් වැයකල හැකිනම් විධායක ශ්‍රේණියේ වැදගත් පුද්ගලයකු භාවිත කළ වාහනයක් සතු කර ගැනීමේ හැකියාවක් පවතී.

නමුත් මෙය ඉතාම තාවකාලික ප්‍රවණතාවයකි. 

ඔබ දැනටමත් දන්නා පරිදි (ඇතැම් විට නොදන්නා පරිදි!) සමුළුව වෙනුවෙන් ලොව ප්‍රමුඛ පෙලේ අධි සුඛෝපබෝගී මෝටර් රථයක් වන Mercedes Benz S400 වර්ගයේ මෝටර් රථ 54ක් මෙරටට ගෙන්වා තිබේ. ඒ සඳහා ජාතිමාමක, දේශහිතෛශී ජනරජය වැයකර ඇති මුදල රු. මිලියන 875ක් හෙවත් කෝටි 87.5 කි. අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රු. මිලියන 758, එනම් කෝටි 75.8ක අති විශාල බදු සහනයක් ලබාදෙමින් (ඇත්ත වශයෙන්ම ලබා ගනිමින්) මෙම වාහන ආනයනය කර ඇත. ඒ අනුව  ජර්මනියේ "Daimler" සමාගම විසින් මෑතකදී නිෂ්පාදනය කරනු ලබන Benz S400 රථ 54 ක් Metropolis Logistics Pvt Ltd සමාගම හරහා ඩිමෝ ලංකා සමාගම ලංකාවට ගෙන්වා ඇත. 





මේවා තාවකාලික (කුළී) පදනම මත ලබාගත් ඒවා බවද, චුයින්ගම් සමුළුවෙන් පසු නැවත භාරදෙනු ඇතැයිද කියන කතා හුදෙක් හුදී ජන පහන් සංවේගය උදෙසා හුදෙක් හුදී ජන පහන් සංවේගය උදෙසා තෙපලනු ලැබෙන සුරංගනා කතා පමණක් යැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබුණි. ඒ අනුව ඉන් පසුව මේවා ලොව උගත්ම, කාර්යශූරම, වැඩ මිසක් කතා නැති, අවංකම දේශපාලක උතුමන් විසින් මහජනතාවට සේවය කිරීමට අවැසි අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සලකා සිය භාවිතයට ගනු ඇත. (ඒ අනුව ඉදිරියේදී හුදී ජනයා වශයෙන් අපට මොවුන්ගෙන් වඩාත් කැපවූ සේවයක් බලාපොරොත්තු විය හැකිය. අනේ වාසනාවන්...!) තමන්ට බඩේ බත් නැතත් තමන්ගේ පාලක උතුමන් සුරසැප විඳීමම එකම සහනයක් වන ජනතාවකට එය එතරම් ප්‍රශ්නයක් නොවනවා නො-අනුමානය.






ඒ අනුව මෙහිදී වැයකරන ලද අධික මුදල සහ අහිමි වූ බදු ආදායම (සමස්ථය රු. මිලියන 1500 නොහොත් කෝටි 150 ඉක්මවයි.) ආවරණය කිරීම (පියවා ගැනීම) සඳහා රජය දන්නා එකම උපක්‍රමය ක්‍රියාවට නංවනු ඇත. 
එනම් ආනයනය කරනු ලබන සාමාන්‍ය වාහනවලට අයකරනු ලබන බදු තව තවත් තර කිරීමයි. 

ආනයනය කරනු ලබන වාහනවල මිළ ඉහළ යාම අනිවාර්යයෙන්ම මදක් භාවිත කළ වාහනවල මිළටද බලපාන බව වටහා ගැනීමට ආර්ථික විශේෂඥයෙක් වීමට නු-වුවමනාය.

Thursday, October 31, 2013

නුහුරු හැඟුමක්

පසුගිය සතිඅන්තයේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ මා ගමන්ගත් බසය, කළුතර බෝධියට මීටර 100ක් තිබියදී පමණ කාර්මික දෝෂයකට ලක්ව නවත්වන ලදී. සියලු මගීන්ට ඉන් බැස කොළඹ දෙසට ධාවනය වන වෙනත් බසයකට ගොඩ වන කොන්දොස්තර මහතා ඉල්ලා සිටියේය. ඒ අනුව ආසන්නයේ තිබූ බස් නැවතුම් පොළ වෙත පියමං කළෙමි.

එහිදී මා නෙත ගැටුණේ තරමක් නුහුරු දසුනකි.

ඇය සිඟන්නියකි. "ඔයා හිඟන්නියො දැකලා නැත්ද..?" යි ඔබ අසනු ඇත. 

මා අනන්ත අප්‍රමාණ විවිධ ස්වරූපයේ යාචක කාන්තාවන් දැක ඇත්තෙමි. නමුත් මැයගේ යම් විශේෂත්වයක්  නිරීක්ෂණය කළෙමි.
සාමාන්‍යයෙන් ඇය වයස 30-35 අතරේ පසුවන්නට ඇත. එවැනි වයස්වල අයද සිඟන වෘත්තියේ දුලභ නොවන බව දනිමි. නමුත් ඇගේ තළෙ'ලු වතද, පිළිවෙලකට ගත දැවටූ පිරිසිදු ඇඳුම්ද කියා පෑවේ ඇය මේ ක්ෂේත්‍රයට නවක බවයි.

කිසිවක් නො-ඇතුරූ බිම හිඳගෙන ඇය මගීන්ට අතපාමින් සිටියාය. මා සමගම බසයෙන් බට තරුණයෙක් ඇය පෑ අතට යම් මුදලක් දෙනු දුටිමි.
නමුත් අන් අයගේ ප්‍රතිචාරය එතරම් යහපත් නොවීය. හේතුව නොදනිමි. ප්‍රකෘති ශරීරයෙන් සිටින ඇය යම් රැකියාවක් කොට උපයන්නේ නැත්තේ මන්දැයි ඔවුන් සිතනවා විය හැකිය. නැතිනම් ඇය ලොව පැරණිම රැකියාව කරන හෝ යම් දුරාචාරවලට ඇබ්බැහි වූ තැනැත්තියක් යයි උපකල්පනය කරන්නට ඇත. ඒ අනුව ඇයට සිඟමන් දීම එම නාස්ති වියදම්වලට අනුබල දීමක් වනු ඇත.

සාමාන්‍යයෙන් මා ලෝකය පවසන, සිතන දේවල් නිසා කරන්නට සැලසුම් කරගෙන සිටින දේ ක්‍රියාත්මක කිරීමට පැකිළෙන්නෙක් නොවේ. නමුත් යම් හේතුවක් නිසා මම ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළෙමි. එවිට ඇය දැක්වූයේ උදාසීන මළානික ප්‍රතිචාරයකි. එය ඇයට නුහුරු අත්දැකීමක් නොවන්නට ඇත.

මීළඟට පැමිණි බසයට මා ගොඩවූ අතර අසුනක්ද ලැබුණි.
එවෙලේ එම ප්‍රතික්ෂේප කිරීම එතරම් ගණනක් ගියේ නැති වුවද වැඩි වේලා යන්නට පෙර මා සිත එම සිද්ධිය නිසා නුහුරු හැඟීමකින් තවන්නට විය. එය අනුකම්පාව, වේදනාව, පසුතැවීම, වගකීමක් පැහැර හැරි විට දැනෙන වරදකාරී හැඟීම ආදිය එකට කළතා සෑදුණු වෙනස්ම ආකාරයේ හැඟීමකි.

ඇත්ත වශයෙන්ම ඇය පැරණිම රැකියාව කරන්නියක නම්, සිඟා කෑමේ අවශ්‍යතාවය කුමක්ද?

දැඩි පංචශීල ප්‍රතිපත්තියක පිහිටි මා කිසිදිනක ගණිකාවක ඇසුරු කර නැති මුත් එවැන්නියක පොදු ස්ථානයක දුටුවහොත් හඳුනාගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ. මොනවා වුනත් මටත් පිහිටා තියෙන්නේ පිරිමි ඇසක් නිසාය. එහෙත් එවැනි සාපේක්ෂව 'ඉහළ ආදායමක්' උපයා ගත හැකි වෘත්තියක් කරන අයකු සිඟා කනු ඇතැයි සිතිය නොහැකි ය. කස්ටමර් කෙනෙකු සෙට් වන තුරු අමතර ගානක් ඉපැයීමට පාට් ටයිම් සිඟා කන ලිංගික සේවකයින් මා කිසිදු සමාජ විද්‍යා පර්යේෂණයක කියවා නොමැත. මෙය එවැන්නක් නම් පට්ටම Exceptional Case එකකි.

මෙය ආරක්ෂක අංශවල ඇස් වසන් සිරීමට  යොදන උපක්‍රමයක් යයි කෙනෙකුට පැවසිය හැකිය. එහෙත් පොලීසියේ සිටින්නේ බබ්බු නොවෙති. ගොනා හැරෙනකොට පොල්පැළයට සොරි වෙන බව නොදන්නේ නම් ඔහු උකුසු ඇසක් ඇති ආරක්ෂක අංශ නිලධාරියෙක් වීමට කොහෙත්ම නුසුදුසුය. 

ඒ අනුව මා නිගමනය කළේ ඇය ජෙනුඉන් කේස් එකක් කියා ය. ඇතැම්විට ඇයට පෝෂණය කිරීමට දරුවන්ද සිටිනවා විය හැකිය. යම් කායික හෝ මානසික දුබලතාවයකින් පෙළෙන්නියක්ද විය හැකිය.

ඒ අනුව මා කර ඇත්තේ සමාව දිය නොහැකි වරදකි. අසරණයෙක් නොසලකා හැරීමය. සමාජ වගකීම් පැහැර හැරීමකි. 

ප්‍රමාණවත් තරම් සිඟමන් නොලැබුනහොත්, පණ නළ ගැට ගසා ගැනීමේ එකම හා අවසන් විකල්පය ලෙසට හෙට දිනයේ ඇය ලොව පැරණිම වෘත්තිය තෝරා ගනු ඇත. 

ඇගේ එම තීරණයට මා ද දායක වී ඇත්තේ නොවේද?

Thursday, October 17, 2013

තෙරිපැහැ හිමියන්ගේ මහා පාවාදීම...!

දේශපාලන අරමුණුවලින් තොරව රටේ ජනතාව වෙනුවෙන් තම දිවිකැප කරන්නට, වදනක් හෝ තම පුද්ගලික වාසිය නොසලකා තෙපලන්නට හිතැ'ති කිසිවකුත් මිහිපිට, සුවිශේෂයෙන්ම මේ ලක් දෙරණ නැතුවා සේය. මහා මානව හිතවාදීන් වන සමාජවාදීන් සමාජ සේවය කරන්නේත්, අසාධාරණයට එරෙහිව හඬ නගන්නේත්, මිථ්‍යාවට එරෙහි වන්නේත් ජනයාගේ සිත දිනාගෙන එනයින් කවදා හෝ තම දේශපාලන දර්ශනය ඔවුන් මත පටවා තමන්ට පාලන බලය ගැනීමටය. 

ව්‍යාපාරිකයෝ සමාජ සේවය කරන්නේ බදු සහන ගැනීමටය. 
ආචාර්ය සෝමා එදිරිසිංහ නම් එසේ නොවේ, මිහිබට දෙවඟනක් යයි මිනිස්සු සිතන අතර, ඇය වෙනුවෙන් දෙවොලක් පවා ඉදිරියේදී ගොඩ නැගීමට ඉඩ තිබේ. එහෙත් මා ඇයත් සමඟ හදවත් රෝගීන් වෙනුවෙන් සම්මාදම් කරන කලාකාරුවන් ආදී සුපින්වතුන්, අභ්‍යාස පොත් 5කට ආර්. දුමින්ද සිල්වා හෝ රෝහිත අබේගුණවර්ධන මීළඟ කතරගම දෙවිදුන් ලෙස නම් කරන ජනතාව ගොඩටම වර්ගීකරණය කරන්නට තරම් අන්තවාදී නොවෙමි! ගාල්තැන්නේ ගාමිණී දේවගැති නම් පෙරුම්පුරන බෝසත්වරයෙකි. 

ජනතාව වෙනුවෙන් කෑමොර ගසන මාධ‍යවේදීන්ගේ සැබෑ කැක්කුම ගැන අපට බුද්ධික පතිරණ, සුදර්මන් රදලියගොඩගේ සිට ශ්‍රී රංගා දක්වා මනා කොට පෙන්වා දී තිබේ. සෝම හිමියන්ගේ දේහය මතින් අද දවසේ බුදු දහම රැග ගැනීමේ අභියෝයට මුහුණදීමට අවැසි නෛතික බලය පණගැන්වීමට දියවන්නාවට වැඩිය අපේ මහා සංඝරත්නයේ සහ ගිහි සුපින්වත් උපාසක මහත්වරු ගැන අපේ රටේ ජනතවාට අමතකව ගොස් ඇති සෙයකි. රොජර් සෙනෙවිරත්නගේ සිට රන්ජන් රාමනායක දක්වාම ජනප්‍රිය කලාකරුන්වන් රාශියක්ද අද අපේ පාලක උතුමන් වෙලාය. ලෝක කුසලානය දිනාදුන් අර්ජුනගේ සිට හෂාන් තිලකරත්න පමණක් නොව සනත් ජයසූරිය පවා අති උතුම් පාර්ලිමේන්තුවේය. කවුරුන් කොහොම කිව්වත් යුධ වීරයන්ද සෘජුව හෝ වක්‍රව දේශපාලන ප්‍රවාහයට එක්වී සිටිති. සරත් ෆොන්සේකා අද යුද විරුවෙක් නොව දේශපාලඥයෙකි.

සමාජ ජාලවල හෝ බ්ලොග් අවකාශවල ආකර්ෂණීය සටහන් යොදන සියලු දෙනාම (මමද ඇතුළත්ව) කරන්නේ තමන්ගේ ප්‍රතිරූපය හදා ගැනීමය. එම ප්‍රතිරූපය භාවිත කොට තමන් පිළිගත් දර්ශනය, ආගම, ඇදහිළි, විශ්වාස අන් අය ලවා අනුගමනය කරවීමටය. 
තම ෆේස්බුක් ප්‍රොෆයිලය 100% ක්ම වාමාංශික දේශපාලනය වෙනුවෙන් සහ සමාජවාදී නායකයින් වීරයින් කරවීමට වෙන්කරගෙන ඇති මිනිසුන් මා හොඳින් දනිමි. ඒ හැර අන් කිසිවක් ඔවුන් මෙහි කතා කරන්නේ නැත. අවුලක් නැත. ඒ ඔහුගේ අයිතියයි. නමුත් අරමුණ පැහැදිලිය. තමාට හෝ තම මතය දරන්නට බලය ලබාගැනීමය. මේ තරමටම නැතත් අන් සියලු පක්ෂවල අයද එසේ කරති. 

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පුදන්නට සැදී පැහැදී සිටින අන්තරේ දරුවන්ද කවුරුන් කෙසේ කීවද කරන්නේ දේශපාලනයකි. පුරා සත් වසක් ජාතික සරසවි 4ක දිවි ගෙවූ, පුරා තුන් වසක් පීඨ ශිෂ්‍ය නියෝජිතයෙකු වූ මා එයට සාක්ෂ්‍ය සපයමි. 
අධ්‍යාපනය උන්නතිය වෙනුවෙන් 6% ඉල්ලා මොරදුන් මා ඇතුලු සරසවි ඇතුරන්ද කළේ දේශපාලනයකි. එය මෙහෙයවූ ආචාර්ය නිර්මාල්, අමිල හිමි ඇතුළු ඉදිරිපෙළ ක්‍රියාකාරීන් සියලුදෙනාම දේශපාලන දර්ශනයක් අනුගමනය කරන අය වෙති. අප විසින් ගනු ලැබූ වෘත්තීමය ක්‍රියාමාර්ගයට අප විසින් දරන ලද රාජ්‍ය විරෝධී දේශපාලන ආකල්ප තදින්ම බලපෑ බව කියන්නට මැළි නොවෙමු.

'කන්නන්ගර දරුවෝ' ලාංකීය අධ්‍යාපනය වෙනුවෙන් දැඩිව කැපවූ ෆෙස්බුක් පිටුවකි. මමද එහි ආරාධිත ලිපි සපයන්නෙක්මි. සමාජයට හොඳ දේ දායක කිරීමේ අරමුණෙන් 'ගුරු ගීතය', 'අම්මා' වැනි කෘතහස්ථ කෘති එහි වර්ණනා කරමින්ද, ඉන් යම් යම් කොටස් උකහා ගනිමින්ද එහි ලිපි පළ වනු දැක ඇත්තෙමි. එහෙත් ඒ සියල්ලම, සමාජවාදී රුසියාවෙන් බිහිවූ විශිෂ්ට කෘතිවල පරිවර්තන වීම අහම්බයක්ද...? 

ඕනෑම කෘතහස්ත සාරගර්භ නිර්මාණයක,(මා කතා කරන්නේ වානිජ අරමුණෙන් පමණක් ලියූ 'මල් පොත්' ගැන නොවේ යයි ඔබට අමුතුවෙන් මතක් කර දීමට අවැසි නැතැයි සිතමි.) යටි අරමුණු ගැබ්ව ඇත. බොහෝ විට එයින් යම් පුද්ගලයෙක් විසින් ගොඩනගන ලද සමාජ ක්‍රමයක්, එනම් දේශපාලන දර්ශනයක් වෙත පාඨකයින් ආකර්ෂණය කරගැනීම සිදුවේ. 

ලොව බිහිවූ විශිෂ්ට කලාකරුවන් සියලුදෙනාම දේශපාලනයෙන් බැට කෑවෝ වෙති. ඔවුන්ගේ නිර්මාණවලට දේශපාලනය ඈඳා ගැනීම අනිවාර්ය වූ බැවිනි. හෙන්රි ජයසේන විසින් සිංහලට නැගූ 'හුණු වටයේ කතාව' (ද කොකේසියන් චෝක් සර්කල්- බර්තෝල් බ්‍රෙෂ්ට්)හි පවා යටි පෙළ අරුත ලෙස දේශපාලනය දුවයි. බ්‍රෙෂ්ට් ට රට හැරදා පළා යාමට සිදුවන්නේ ඔහුගේ නිර්මාණවලින් රාජ්‍ය විරෝධී දේශපාලනය සියුම් ලෙස සමාජගත වන්නට වූ හෙයිනි.  දේශපාලයනය නොගැවුණු කලා කෘතියක් පවා සොයා ගැනීම උගහටය.  

බලාගෙන යනකොට අඩු වැඩි වශයෙන් 'කාරිය කෙරෙන තුරු කවුරුත් රැවටිල්ල' ය. 

එහෙව් දේශයක මොනයම් ක්‍රමයකින් හෝ ජනතා ජනප්‍රියත්වයක් ළඟා කරගත් තෙරිපැහැ හිමියන් පමණක් උඩුගම් බලා පීනයි යයි සිතීම මුළාවකි. උන් වහන්සේ වෙනස්වන බව මම කල් තියාම දැන සිටියෙමි. උන් වහන්සේ වීරයෙක් කරමින් පළවූ ලිපි දෙස මා උපේක්ෂාවෙන් බලා බැහැර කළේ එහෙයිනි. 

මේ ටික කියන්නට දේශපාලනය ගැන මෙච්චර වැල්වටාරම් ගෙනහැර පෑවේ ඇයිදැයි කෙනෙකුට සිතෙනු ඇත. එහෙත් විමසිල්ලෙන් බලන්න. මේ සියල්ල දක්ෂ ලෙස අධ්‍යක්ෂණය කරන ලද දේශපාලන නාට්‍යයක ජවනිකාවන් ය. 

මේ නාට්‍ය පිටපතේ වීර චරිත බිහිවීම තවම අවසන් නැත. 

Friday, October 4, 2013

ඉගිල්ලෙන මාළු සංවේදී ඇසින්... (21+)

පිටපත ලැබී මාස 1 1/2ක් පමණ ගතවුවද නිවී සැනසිල්ලේ 'ඉගිල්ලෙන මාළුවෝ' නැරඹීමට විවේකයක් සොයාගත්තේ ඊයේ සවසය.

දෙගිඩියාවකින් තොරවම කිව හැක්කේ සංස්කෘතික, ආගමික, ඊනියා දේශප්‍රේමී තිමිර පට ලිහා බැලූ කල එය මෑත කාලයේ සිනමාවට එකතු වූ අති විශිෂ්ට නිර්මාණයක් බවය. මෙයින් රටේ ආරක්ෂක අංශවලට අවමානයක් වනවා යයි කීම හුදෙක් ප්‍රලාඵයකි. කෙළින්ම කියනවානම් එම පදනමක් නැති උපකල්පනය මත පදනම්ව එය ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීම තකතීරු, අමනෝඥ ක්‍රියාවක් බව පැවසීමට පසුබට නොවෙමි.  

මා මෙසේ කියන විට මා හා උරණ වන දෙපිරිසක් සිටිති. ඉන් පළමු පිරිස කලා නිර්මාණ රසඥතාවය යන්න කළඳක්වත් පිහිටා නොතිබූ, අගය කළ යුතු කලා නිර්මාණයක් වනාහී එක්කෝ ඓතිහාසික හෝ ආගමික තේමාවක දිවිය යුතුය යන පටු දූපත් මානසිකත්වයේ පිහිටා එය තහනම් කළවුන් විසින් මොළ සෝදන ලද මෙරට විචාර බුද්ධියෙන් තොර ප්‍රේක්ෂකයින්ය. නැතහොත් ඉන්දියාවේ සිවසේනා කල්ලීයේ අදහස් දරන මෙරට සංස්කෘතික හා ආගමික අන්තවාදීන්ය. 

දෙවැන්නන් නම් සිනමා විචාරය සිය බුක්තියට සරි කරගෙන, එය සින්නක්කර ලියාගෙන ඇති මෙරට වෘත්තීය කලාකරුවන් හා කුමක් හෝ මාධ්‍ය ආයතනයකට රිංගා තමන්ට මාධ්‍යවේදී සීල් එක ගසාගන්නා අයවළුන්ය. බ්ලොග් අවකාශයේ කවුරුත් හොඳින් දන්නා 'දුකා' විසින් සත්‍යජිත් රායිගේ 'අපූර් සංසාර්' සිනමා කෘතිය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලයේ තබන ලද ප්‍රකාශයකට මා දැක්වූ අදහස්වලට ප්‍රතිපක්ෂව පුවත්වත් කලාවේදීන් යයි කියාගන්නා ඇතැමෙක් (මේ සංවාදයට නලීන් අයියා -නලීන් දිල්රුක්ෂ සහභාගී නොවුනු නිසා මේ චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කළ හැකිය.) අදහස් දක්වා තිබුණේ මා කුහකයෙක් යයි හුවා දක්වමිනි..! මා ලද අධ්‍යාපනය හෝ නිරත වන වෘත්තිය, කලාවට කිසිසේත්ම අනුකූලතාවයක් දක්වන්නේ නැති හෙයින් මට එවැනි අදහස් දැක්වීමක් කිරීමට අයිතියක් නැතැයි යන ආකල්පයක් ඔවුහු දරති. එහෙයින් මෙය සුදුසුකම්ලත් ප්‍රවීණ සිනමා විචාරකයෙක් විසින් කරන ලද සාරගර්භ ගැඹුරු විචාරයක් නොව, අතිශයින් සාමාන්‍ය සිනමා රසිකයෙක් විසින් මතුපිටින් බලා කරන ලද ලඝු නොහොත් අසංක්ෂිප්ත, අපරිපූර්ණ අදහස් දැක්වීමක් ලෙස සැලකිය යුතු මනාය.

හමුදා භටයෙකු විසින් ගමේ තරුණියෙකු අනාථ කර පළා යාමක් මෙහි ප්‍රස්තුතය වන හෙයින් මෙය හමුදාවට අවමානයක් යයි මෙයට එරෙහිව හඬ නගන අයගේ ප්‍රබලම තර්කයයි. නමුත් මැදහත්ව බලන කෙනෙකුට පෙනී යන දෙයක්නම් මෙහිදී ඉස්මතු කර ඇත්තේ ඔහුගේ හමුදා නිලය නොව, ඔහු තුළ ජීවත්වන සාමාන්‍ය මිනිස් දුර්වලතා වලින් හෙබි මනුෂ්‍යයායි. කතාවේ ආරම්භයේදී හැර, එය කෙමෙන් විකසනය වෙද්දී කිසිදු රූප රාමුවක ඔහු සිය නිළ ඇඳුම පිටින් සිටිනු දැකිය නොහැකිය. කොටින්ම ඔහු කරන හැම 'අළුගුත්තේරු' වැඩක්ම කරන්නේ එක්කෝ උපන් ඇඳුමෙනි. නැත්නම් සිවිල් ඇඳුමෙනි. ඔහු පෙනී සිටින ලිංගික දර්ශන වලදීත්, නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයට තරුණිය කැටුව යන්නේත්, පඬුරු ගැටගසන්නේත්, පොල් ගසන්නේත් සාමාන්‍ය ඇඳුමෙනි. එපමණක් නොව අවසන් රූප රාමු පෙළේදී තරුණිය මවාගන්නා විකාර රූපී චිත්ත රූප (තරුණයාගේ ලිංගේන්ද්‍රිය කඩාගන්නා දර්ශනය ඇතුළත්) වල පවා සිටින්නේ නිළ ඇඳුමෙන් සැරසුණු හමුදා භටයෙක් නොව සාමාන්‍ය තරුණයෙකි. මේ දර්ශන ඉහත කී මතය ඔළුවට බලෙන් ඔබ්බවා ගන්නේ නැතිව විවෘත මනසකින් නරඹන විට නිසඟයෙන්ම ඔහුගේ හමුදා භට භාවය අමතකව ගොස් ලිංගික හැඟීම් උද්දීපණය වන, සංවේදනා ඇති, ඉන්ද්‍රීය සංතර්පණය පරම සැපතක් දෙස සිතා එය සොයමින් සැරිසරන, ඇතැම්විට අවස්ථාවාදී පුහුදුන් මනුෂ්‍යයෙකු මැවේ. ඔහු තාවකාලිකව හෝ වසන, එනම් දැඩි මානසික පීඩනයකට නතුවූ නමුදු අවැසි නම් සොයාගත හැකි ඊනියා නිදහසක් පවතින සංදර්භයක එවැනි හැසිරීමකට පෙළඹීම ඔහු හමුදා භටයෙක් වීමෙන් ස්වායත්තය. එසේ නොවුණි නම් එය අස්වාභාවිකය. සිනමා කරු උලුප්පා පෙන්වන්නේ මේ යතාර්ථයයි. මෙහිදී එකී තරුණයා හමුදා භටයෙක්ම වීම ගැන විමතියට පත්වන ඇතැමුහු, මෙය සිනමාකරු සියුම් ලෙස ඔහු නියෝජනය කරන සමස්ථ කුළකය ගැනම වැරදි ආකල්පයක් මැවීමට උත්සාහ කරයි යනුවෙන් චෝදනා කරති. එය හරියට මෙවැනිය : අමරිකාවේ නිෂ්පාදිත මෙක්සිකානු මත්කුඩු බෙදාහරින මාෆියා සංවිධානයක ක්‍රියාකාරකම් අළලා නිර්මිත සිනමා පටයක් නරඹා සමස්ථ මෙක්සිකානු ජනගහනයම මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පාතාලයින් යයි නිගමනයකට එලැබීම වැනිය. නැතහොත් චිකාගෝ නුවර ගණිකාවකගේ වෘත්තාන්තයක් නරඹා චිකාගෝවේ සෑම කාන්තාවක්ම ගණිකාවක් යයි උපකල්පනය කිරීම වැන්න. වැඩිය ඕන නැත. ඉන්දියාවේ නිෂ්පාදිත මෙගා ටෙලි නාට්‍ය පමණක් නරඹා ඉන්දියාව සුරපුරයක් ලෙස නම් කිරීම...? මෙහිදී වැරදි චිත්‍රයක් මැවීම ගැන අප සිනමාකරුට දොස් පවරනවාද?

මෙය වඩාත් සරල ලෙස පැහැදිලි කළ හැකිය. ධීවර ජනතාව දරුණු ජන කොට්ඨාශයක් ලෙස හංවඩු ගැසුවා යයි කියා 'ඹබරු ඇවිත්' (ධර්මසේන පතිරාජ) සිනමා පටයට හෝ හෝ මුඩුක්කු ජනතාව අතර අසම්මත සබඳතා පවතීයයි හුවා දැක්වීයයි චෝදනා කරමින් 'පාලම යට' (කුලසේන ෆොන්සේකා) ආදී විශිෂ්ට සමාජ විද්‍යා පර්යේෂණ කෘතීන්ට විරුද්ධව ධීවරයින් හෝ මුඩුක්කු ආශ්‍රිතව සිය දිවිපෙවෙත ගෙවන ජනතාව කැරළි ගැසුවේ නැත. කවුරුවත් එසේ කරන්නට කියා උසිගැන්වූයේද නැත. 

බුදුදහමට අවමන් වන දෙස සංවාදයන් හිතාමතාම ගොඩනගන්නේ යයි යනු තවත් චෝදනාවකි. එහෙත් ඉන් බෞද්ධයෙකු වන මා තුළ නම් එවැනි නොපහන් හැඟීමක් ඇති කරන්නට සමත් වූයේ නැත. ඒ වෙනුවට බුදුදහමෙන් සහ බුදු සිරිතෙන් ජීවිතයට ගතහැකි මගපෙන්වීම හරිහැටි ග්‍රහණය කරගැන්මට අසමත් වූ, අනවබෝධය නිසා එය තමන්ට අවැසි ලෙස වැරදි ලෙස අර්ථකථනය කරගන්නා මිනිසුන් නම් දුටිමි. මෙවැන්නන් අප සමාජයේ අප අතරම කොතෙකුත් සිටිති. සිනමා නිර්මාණය තුළ පීරා සෙවීමට අනවශ්‍යය. එහි එය රඟදැක්වීම යථාර්ථය අභිබවා ගිය අතිශයෝක්තියක් නොවේ. 

චීවරධාරියාගේ භූමිකාව ගැන කියන්නට ඇත්තේ ඒ ටිකමය. බුදුන් දෙසූ අවිහිංසාවාදය වෙනුවට ප්‍රචණ්ඩත්වය දිරිගන්වන මෙවැනි භික්ෂූන් යුද්ධය නැගලා ගිය එකල මෙන්ම මෙකලද දුලබ නොවන බව රහසක් නොවේ. මෙහිදී ම'පියාගේ අනුවේදනීය අත්දැකීමක් සිහියට නැගේ.
1980 ගණන් වල මුළ් හරියේ පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ අහිංසක දමිළ වැසියන්ට සිංහල අන්තවාදීන් අතින් ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල විය. කුමක්දෝ හේතුවකට මගේ පියාද එහි සිට ඇත. (ඔහු ඒවාට සම්බන්ධ නැත.) මෙහිදී එහි සිටි එක් චීවරදාරියෙක් (ප.ලි. දිඹුලාගල හිමි නොවේ.) සිංහල තරුණයින්ට තවමත් මිය නොගිය පණ අදින දමිළ මිනිසෙක් සහ බුර බුරා නැගෙන ගින්නක් පෙන්වා 
"මෙන්න මූව අරකට ඇදල දාපල්ලා" යයි කියා ඇත.
මෙහිදී දැඩි කම්පාවට පත් මගේ පියා අසා ඇත්තේ
"හාමුදුරුවො බුද්ධාගමේද?" කියාය. ඉන් පසු ඒ අසරණයා පණ පිටින්ම ගිණි ගොඩට ඇද දමා ඇත. 
මේවා අසන විට සිතෙන්නේ සිංහල ජාතිවාදීන් හා ජාතිවාදී භික්ෂූන් ගැනත් වෙනම චිත්‍රපටි හැදෙනවා නම් හොඳය කියා ය. 

ලිංගික දර්ශන ඇතුළත් නිර්මාණ සියල්ලම පහත් පෙළේ ඒවා බවට වර්ගීකරණය කරන පිරිසක්ද සිටිති. ඔවුන්ට කියන්නට ඇත්තේ මෙය ළමා චිත්‍රපටයක් නොවන බව පමණකි.

ලිංගිකත්වය, වාරණය කළ යුත්තක් නොවේ. කායික සන්තර්පණය මූලික මිනිස් අවශ්‍යතාවයකි. නරඹන්නාට එම හැඟීම් උද්දීපනය වන දර්ශන ඇතුළත්, එය කර්මාන්තයක් කරගත් 'පෝර්න් ඉන්ඩස්ට්‍රි' එකක් අමරිකාවේ පවතී. මෙම නිල් චිත්‍රපට නිෂ්පාදනය කරන අය කලාකරුවන් ලෙස ආසියාතික ශිෂ්ට සමාජය පිළි නොගනී. මමද එහි සංස්කෘතියෙන්ම පෝෂණය වූවෙක් නිසා සිටින්නේ එම මතයේමය කිවහොත් එය අවංක ප්‍රකාශයකි. එහෙත් භාවාත්මක ලෙස ලිංගික දර්ශන ඇතුළත් කලා නිර්මාණ අපි කවුරුත් උසස් ලෙස අවිවාදයෙන් පිළිගනිමු..!? 

මේ සම්බන්ධයෙන් නම් සිනමා කරු ඇතැම් සංස්කෘතික සීමා මායිම් බිඳහැර ගෙන ගොස් ඇති බව පෙනේ. ස්ත්‍රී ස්වයං වින්දනය ගැන කතා කිරීමට අප, අප විසින්ම තහනම් නියෝග පණවාගෙන ඇත. ප්‍රවීණ සහ නිර්භය සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරිගේ 'අග්නිදාහය' ආරම්භයේම පුරුෂ ස්වයං වින්දනයකි. එහෙත් මේ දක්වා සිංහල සිනමාවේ කිසිවෙකුත් ස්ත්‍රීන් සම්බන්ධයෙන් මෙවැනි දර්ශන ඇතුළත් කිරීම නොකළහ. වෙනත් විදියකින් කියනවානම් යථාර්ථවාදීව මෙවැනි සංවේදී සමාජ ගැටළුවක් (ස්ත්‍රීන්ගේ ලිංගික අවශ්‍යතා) පිළිබඳව මේ තරම් විවෘතව කතාකරන්නට කලාකරුවන් මැළි වූහ. සිනමාකරුගේ විශේෂත්වය එයයි. 

පිරිමින්ගේ ලිංගික අසහනය තරමටම ගැහැණුන්ගේ ලිංගික අසහනයද ප්‍රබල සමාජ ප්‍රශ්නයක් බව වටහාගෙන ඇත්තේ මේ 'රැඩිකල් රැල්ලේ' සිනමාකරුවන් පමණද? මෙය ඉතා හොඳින් විශ්ලේශණය කරන ලද වෙනත් නිර්මාණ දෙකක් ලෙස අසෝක හඳගමගේ 'තනි තටුවෙන් පියාඹන්න' සහ විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' හැඳින්විය හැකිය. ස්ත්‍රී සමලිංගික විවාහය ගැන සමාජයේ සැබැවින්ම සිදුවූ සිද්ධියක් පදනම් කරගනිමින් හඳගම නිර්මාණය කළ 'තනි තටුවෙන් පියාඹන්න' තත්පර ගණනක ස්ත්‍රී නිරුවත් දර්ශනයක් ඇතුළත් වූවා යයි 'මෙන්න හඳයා තමන්ගේ ගෑණිගෙ හෙළුව විකුණන් කනවෝ' කියමින් මෙරට ඇතැම් පටු රසඥතාවාදීන් මොර දුන්නා මතකය. ඇත්ත වශයෙන්ම එම දර්ශනය පහත් ලිංගික උද්දීපණය ජතිත කරවීම සඳහා පෙන්වූවක් නොවේ. සමාජයට පිරිමියෙක් ලෙස පෙනී සිටිමින් සිය අමුතු දීගය කන තැනැත්තිය එය 'මාට්ටු වූ' පසු සිය ආත්මාරාක්ෂාව උදෙසා තමාට පහර දීමට පැමිණෙන අයට සිය සළුව උනා පෙන්වයි. එයින් වික්ෂිප්ත වන අප සමාජයේ සුචරිතවාදීන්ගෙන් ඇය තාවකාලිකව හෝ ගැලවුමක් ලබයි. මෙය අවස්ථානුකූලව ගත යුතු හොඳම උපාය මාර්ගය යි. එය ඌරාගේ මාළු ඌරා පිටම තබා කැපීමකි. මෙවැනි දර්ශනයක් නැරඹීමෙන් ලිංගික තෘප්තියක් ලැබෙනවා නම් එය විකෘති තත්ත්වයකි.

සංඛේත යොදාගනිමින් සන්නිවේදනය කිරීම හා විවිධත්ත්වයෙන් හා අපූර්වත්වයෙන් යුතු දෘෂ්ඨි කෝණ ඔස්සේ මැවෙන රූපරාමු සිනමාකරුගේ නිර්මාණශීලීත්වය මැනවින් සාධනය කොට පෙන්වයි. තේමාව ඔස්සේ දිවීම යන කාරණය ඔස්සේ ඇගයීමකට ලක් කළහොත් කිව හැක්කේ සාර්ථකය කියා ය. මොනවා වුනත් අන්තිමට දමිළ හෝ සිංහල හෝ වේවා තැලෙන්නේ පොඩි මිනිහා යන පරම සත්‍යය සිනමාකරු විවිධ උපක්‍රම මගින් පසක් කරයි. කප්පම් ඉල්ලා නොදුන් තැන වෙඩිකා මියයන දමිළ මනුෂ්‍යයා පිලිබඳවද, කාළකණ්ණි ඉරණමකට ගොදුරු වී විනාශ වන සිංහල පවුල ගැනද මිනිසත් කම අගයන ඕනෑම අයෙකුට ඇතිවන්නේ එකම ආකාරයේ කම්පාවකි. 

සිනමාකරු කොටින්ට කඩේ යනවා යයි චෝදනා ලබන්නේ කෙසේදැයි මට නොතේරෙන්නේ කොටි සාමාජිකයින් පාසැල් තුළට ගොස් දරුවන්ගේ මොළ සේදීම (මෙය කිසිසේත්ම අභව්‍ය නොවන සම්පූර්ණයෙන්ම සත්‍ය සිදුවීමක් බව මගේ සරසවි දමිළ මිතුරා සනාථ කළේ ය.) සහ කප්පම් නොදෙන නිරායුධ වැසියන් ඝාතනය කරන අයුරු මෙයින් නිරූපණය කර තිබියදී වීම හේතුවෙනි. ඒ අතර සිනමාකරු දමිළයින්ට වූ අසාධාරණය කොටි සාමාජිකයා පාසැලේ උගන්වන පාඩම මගින් සියුම් ලෙස සමාජගත කිරීමට උත්සාහ දරයි. කොටියාගේ කතාව 100% හරි යයි ඔහු නොකියයි. එයින් ගත යුතු දෙය ගත යුතුයයි ඔහු බුද්ධිමත් ප්‍රේක්ෂයින්ට ආරාධනා කරයි. සිනමාකරුවෙකු සතු ප්‍රබල සන්නිවේදන හැකියාව, අපූර්වත්වය මෙයයි.  

අවසාන වශයෙන් කිව යුත්තේ කලාව පවතින්නේ පාලකයින් සතුටු කිරීමට, වෙනත් වචනවලින් කියනවානම් වන්දිභට්ටකම් කිරීමට හෝ එක්තරා තෝරාගත් පිරිසක් පමණක්, එනම් පොඩි එවුන්, දැඩි ආගමික භක්තියක් ඇත්තවුන්, දේශානුරාගයෙන් ඔද වැටී ගිය උන් ආදී වශයෙන් සීමිත පිරිසක් සතුටු කිරීමට නොවේ. ඊට වඩා පුළුල් දෘෂ්ඨි කෝණ වලින් ලෝකය දකින්නාවූද, පරිකල්පනය කරන්නාවූද අල්ප වූ හෝ පිරිසක් සිටිති. සැබෑ කලාකරුවා ස්ඵර්ශ කළ යුත්තේ පෙරකී සාතිශය බහුරතයගේ රුචිකත්වය පිනවීම අරභයා පමණක් නොව (වානිජ අරමුණුන් නිර්මාණ කරනවා නම් එසේ කළ යුතුවේ.), දුලභ වූ නමුදු ගැඹුරු ලෙස නිර්මාණයක් කියැවිය හැකි ඉහළ රසඥතාවයෙන් යුතු ප්‍රේක්ෂකයින්ටද අසාධාරණයක් නොවන ලෙසිනි. මේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ (පවුරු වළලු, පුරහඳ කළුවර) , තරමටම විමුක්ති ජයසුන්දර (සුළඟ එනු පිණිස), ඉනෝකා සත්‍යාංගනී (සුළං කිරිල්ලී) අසෝක හඳගම (තනිතටුවෙන් පියාඹන්න, අක්ෂරය) (මොවුන්ගේගේ යටි අරමුණු කුමක් වුවද කලා නිර්මාණ ලෙස ඔහුගේ නිර්මාණ සියල්ලම ඉතාමත්ම උසස් තත්ත්වයේ පවතී.) වැනි කලාකරුවන් අතළොස්ස අතරට සංජීව පුෂ්පකුමාරද එක්වී හමාරය.

Tuesday, October 1, 2013

දශක දෙකකට පෙර අද වන් දවසක....

ශිෂ්‍යත්වේ ප්‍රතිඵල ඇවිල්ලා....හරියටම ලෝක ළමා දිනේදීම...සමහරු මේක ආණ්ඩුවේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් කියලත් අර්ථකථනය කරාවි.

සමහරු මේකට අම්මලාගේ විභාගේ කියලත් කියනව. ඒ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ?

තරඟකාරීබව උපරිම නිසා ළමයින්ට වැරදි ආදර්ශ දීල හරි කොහොමහරි තමන්ගෙ ළමය මේ කඩඉමෙන් පන්නගන්නනෙ ගොඩක් දෙමාපියො උත්සාහ කරන්නෙ. පාස් උනාටම මදි, ටවුමෙ ලොකුම ඉස්කෝලෙට ඇතුළත් වෙන්න සුදුසුකම් ලබන්නත් ඕනෙ. ඒ විතරක්නම් මදෑ, අහවලාගෙ ළමයට වඩා එක ළකුණක් හරි වැඩිපුර ගන්නත් ඕනි...නැත්නම් මොන මදි කමක්ද..?

වැරදි ආදර්ශ කීවම මතක් වුණේ...මං දන්න අම්ම කෙනෙක් ඉන්නව, දරුවගෙ පැවරුම්, ගෙදර වැඩ කරන්නෙ එයා...! එක පන්තියක් ඉවරවෙනකොටම තව එකක් පටන්ගන්න නිසා දරුවට ඒව කරන්න වෙලාවක් නැතිලු.

මම ජීවත් වෙන මාතර නගරයෙ ශිෂ්‍යත්ව උපකාර පන්ති පටන් ගන්නෙ 1 වසරෙන්. මාතර නගර කෙන්ද්‍රයෙ ඉඳල කිලෝමීටර් 10-15ක් විතර යනකම්, ඒ කියන්නෙ නාගරික සහ අර්ධ නාගරික ගෙවල්වල ඔය වයසෙ ඉන්න හැම දරුවෙක්ම වගේ ඔය රැල්ලට ගොදුරු වෙලා...හවස් වරුවෙ විතරක් නොවෙයි, නිවාඩු දවස්වල, පෝය දවස්වල පවා දරුවො ගෙවල්වල නැහැ. නගරයෙන් කි.මී. 5ක් විතර දුරින්, අර්ධ නාගරික යයි කියන අපි ජීවත්වන වටපිටාවෙත් එහෙමයි. අල්ලපු ගෙදර හුරතල් පොඩි එකීල දෙන්න ඇහැට දකින්න පෙරුම් පුරන්න ඕන. හාව හඳ දකින්න වගෙ තමයි ඇහැ ගැටෙන්නෙ.

අපි පොඩි කාලෙ, ඒ කියන්නෙ මීට අවුරුදු 20කට විතර කළින් නම් ඔහොම සූදුවක් තිබුණෙ නෑ. ඒ කියන්නෙ ශිෂ්‍යත්වෙට පන්ති යන ප්‍රවණතාවයක්. ශිෂ්‍යත්වය කියල එකක් තිබුණත් කාටවත් ගානක් තිබුණෙ නෑ. කොටින්ම මම ඒක ලියපු දවසට කළින් දවසෙත් ගත කළේ කෙළි දෙළෙන්. මම විතරක් නොවෙයි අපෙ ගමේ පහුවදාට ශිෂ්‍යත්ව විභාගය ලියන්න හිටපු ගොඩක් අය.

නිවාඩු කාලයක් වුණු එදා උදේ තාත්ත ඇහැරවල 'ඉස්කෝලෙ යං' කීවම මම පුදුම වුණා. ඇයි නිවාඩු කාලෙ තාම ඉවර නෑනෙ.
තාත්ත මාව මෝටර් සයිකලේ ඉස්සරහ ලගේජ් එකේ (ඒක තැපැල් නයින්ටියක්) තියාගෙන ඉස්කෝලෙට ගියා.

"ඔයා මේකෙන් පාස් වෙන්නම ඕන. නැත්නම් මම නරක මිනිහයි කියන්න එපා" "පාස් වුනොත් අරක අරන්දෙනව." වගේ කතා මුකුත් අහන්න ලැබුණෙ නෑ.

මුළින්ම තිබුණෙ ගණිතය ප්‍රශ්න පත්‍රය. පැය 1 1/2 හෝ දෙකයි. ඊට පස්සෙ සිංහල ප්‍රශ්න පත්‍රය.

මේ මොන කරුමයක්ද කිය කිය හිටපු මම ඕනවට එපාවට ලියල දාල ගෙදර ආවෙ වෙනද ඉස්කෝලෙ ඇරල එන මානසික තත්වයෙන්මයි. විශේෂ සැහැල්ලුවක්, බලාපොරොත්තුවක් කියල දෙයක් තිබුණෙ නෑ. අමුතුවෙන් නිදහස් වෙන්නය කියල එහෙම ඔළුවෙ බරක් තිබුණෙ නෑනෙ.

ඉතින් මීට අවුරුදු විස්සකට විතර කළින් අද වගෙ දවසක ඒ දවස උදා වුණා. එතකොට මම හිටියෙ ටවුමෙ මාමගෙ බෝඩිමේ. අම්මල ගමනක් ගිහිල්ල. මාමයි මාමගෙ යාළුවෙකුයි එක්ක මම ටවුමෙ බෝඩිමේ නවත්වල ගියා.

මාමල පාඩම් කරන නිසා මම හරිම කම්මැලි කමෙන් හිටියෙ. නොහිතපු වෙලාවක තාත්ත මෝටර් බයිසිකලෙන් ආව. එයා විශේෂ සතුටකින් ඉන්න බව පෙණුන. මාමගෙ අතට මොනවද දෙනව දැක්ක. මොනවද මොනවද කිව්ව. මට කිසිදෙයක් තේරුණෙ නෑ.

මාම මගෙ ඔළුව අතගාල තාත්ත දීපු පොදියත් අරන් කුස්සියට ගියා. ටික වෙලාවකින් පීරිසි කෝප්ප 4කට මුදවපු කිරියි, පැණියි බෙදාගෙන ආව.
අපි හතරදෙනා ප්ලාස්ටික් සහ යකඩ හැඳිවලින් කිරි කෑව. මට ඒත් අමුත්තක් දැනුනෙ නෑ.

කන ගමන් දෙමස්සිනෝ කතා කරපු දවල් වලින් මට තේරුණ මම මීට මාස 3කට විතර කළින් ලියපු අර ශිෂ්‍යත්වෙ කියන කෙහෙල්මල් විභාගෙ පාස් වෙලා කියල. ඒත් අමුතු සතුටක්වත් දුකක්වත් දැනුනෙ නෑ.

"මේ ළකුණු වලින් රාහුලේටම යන්න පුළුවන් වෙයි. 164 යි නේද? ගිය පාර රාහුලේට ගත්තෙ 160න්."
මාම එහෙම කිව්වම තමයි මට විශේෂ හැඟීමක් ඇතිවුනෙ. හැබැයි ඒක සතුටක් නෙමෙයි, දුකක්..! අවංකවම..!!

1 වසරෙ ඉඳලම නෙමෙයි ඊටත් කළින් ඉඳලම මම අපේ අම්මයි තාත්තයි එක්කමයි ඉස්කෝලෙ ගියේ. එයාල උගන්නපු ගමේ ඉස්කෝලෙටමයි. ගමේ ඉස්කෝලෙ හරිම ආදරණීය තැනක්. සමවයසෙ යාළුවොන්ගෙ විතරක් නොවෙයි ඉහළ පන්තිවල අයියල අක්කලගෙත් නොමද ආදරය මැදයි මම හැදුනෙ. මේ ඔක්කොම දාල මීට වඩා හොඳයි කියල කියන්න පැහැදිලි සාක්ෂියක් නැති, නොදන්න නුහුරු තැනකට, නානඳුන මිනිස්සු ගොඩක් මැද තට්ට තනිවම අතරමං වෙනව කියල මතක්වුණාම ඇතිවුණෙ ඇත්තටම කණගාටුවක්.  
මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් පරිච්චේදයක් පෙරළුණු ඒ දවස මට අවංකවම දැනුනෙ එහෙමයි.

අද මේ මොහොත වෙනකොටත් ඒ හේතුව මුල් කරගෙන සතුටු වෙන අතළොස්සට වඩා දුක්වෙන පිරිස වැඩි බව අපි සිහි කරන්න ඕන. ඇයි දෙයියනේ කීයෙන් කී දෙනාද බලාපොරොත්තු විදියටම සමත් වෙලා ඇත්තෙ? දරුවන්ට නම් ගාණක් නැතුව ඇති. 
ඒත් අම්මලා තාත්තල කී ලක්ෂයක් විරෝ පට්ටම් ගහගෙන, අල්ලපු ගෙදරට මූණ දෙන්න බැරුව ඇත්ද...?

හැබැයි ඒ අම්මල තාත්තල මේක බලනවනම් එකම එක දෙයක් විතරක් මට කියන්න තියෙනව.

මේ රට හොල්ලපු විශිෂ්ටයෝ, දක්ෂ කලාකාරයෝ, ක්‍රීඩකයෝ, විද්‍යාඥයෝ, අපේ සමාජයේ ලොකුයි කියා ලොකුවටම ගණන් ගන්න දොස්තරලා, ඉංජිනේරුවෝ වුනත් හැමෝම 5 වසරෙ ශිෂ්‍යත්වෙ පාස් කරපු අය නෙමෙයි...

Friday, September 27, 2013

මාර්ෂල් ලෝ

වේලාව උදෑසන 8.00ට පමණ.

ලැප්ටොප් පරිගණකය උරෙහි දරාගෙන ඔහු කොළඹ සරසවියේ පිවිසුම් ගේට්ටුව අබියසය. අඳුරු වර්ණ ගැන්වුණු නිළඇඳුම ළාගත් නිලධාරියා මහ හඬින් ගුගුරන්නේ මහා අපරාධ කාරයෙක්ගෙන් ප්‍රශ්න කරන පොළිස් නිළධාරියෙක්ගේ ස්වරයෙනි.

"තමුන් කවුද?"

"මම ස්ටාෆ්." 

"මොකද්ද තනතුර..?"

"ආධුනික කථිකාචාර්ය."

"අයි.ඩී. එක...?"

"මම ගිය සතියෙ ආවෙ. අයි.ඩී. එක ඇප්ලයි කරල තියෙන්නෙ."

"මෙන්න මෙයාට යුනිවර්සිටි අයි.ඩී. එකක් නෑ. ස්ටාෆ්ය කියන්නේ.." දැඩි අවඥාවෙන් 'වරදකරු' පෙන්වා ඔහු තවකෙකුට කියයි.

"මොරටුවෙ අයි.ඩී. එක තියෙනව."

"මේක මොරටුවද..? ඒ කියන්නෙ තමුසෙ ස්ටුඩන්ට් කෙනෙක්නෙ. වී.සී. මැඩම් කියල තියෙන්නෙ අද පිට කැම්පස් වලින් කඩාකප්පල්කාරයො මෙහෙට එනව කියල. ඔය අහුවුනෙ එකෙක්. මෙන්න මූව මැඩම් ගාවට යවමු."

එවරනම් ඔහුගේ ඉවසීමේ සීමා දෝරෙ ගලා යයි.

"මේ. හලෝ. මේක අන්ඩග්‍රැඩුවේට් අයි.ඩී. එකක් නෙමෙයි. නිකං මිනිස්සුන්ට අපහාස කරන්නෙ නැතුව ඩීන් ඔෆිස් එකට කතාකරල අහනව මම කවුද කියල...!"

තවමත් සැර බාල වී නොමැත.

"අපිට වී.සී. මැඩම් කියල තියෙන්නෙ මොකා ආවත් කලම්බු යුනි අයි.ඩී. නැත්නම් ඇතුළට ගන්න එපා කියල. ඔච්චර පොර නම් මැඩම් ගාවට ගිහින් ස්පෙෂල් පාස් එකක් අරන් එනව."

ඉහත සංවාදය හමුදා නිලධාරියෙක් හා සරසවි ශිෂ්‍යයෙක් අතර සිදුවූවක් නොවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ විනය පාලක නිළධාරී හෙවත් මාර්ෂල්වරයෙක් හා මේ සිදුවීම වූ එකල එහි ආධුනික කථිකාචාර්යවරයෙක් (වත්මන වෙනත් විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක්) අතර සිදුවූ සංවාදයකි.

නිමිත්ත : (සරසවියේ සියළුම අඩුපාඩු සංසිදුවීමෙන් අනතුරුව) කෝටි ගණනක වියදමින් මාර්ෂල්වරුන්ට වායුසමනය කළ නිළ නිවාස ඉදිකිරීමට පාලනාධිකාරිය තීරණය කිරීම.