Tuesday, August 28, 2012
අධ්‍යාත්මික හීන (Spiritual Dreams)
හීන වල ඇත්තේ අප දිවා කල දකින දේ සහ මායාවන් පමණක් යයි එක්තරා සිද්ධියක් වන තුරා මමද විශ්වාස කළෙමි.
සරසවියේ පළමු වසරේදී මම එක්තරා තැනැත්තියකට හදවතින් පෙම් කළෙමි. (කුළුඳුල් දෙවන වතාවට.) කළබල වෙන්න එපා! ඇය සිහිනෙන් පෙනීම කිසිසේත් අරුමයක් නොවේ.
පසුව ඇයට පෙම්වතකු සිටින බව දැනගෙන සිත හදාගෙන කළක් ගතකළෙමි. නමුත් මාස කිහිපයකට පසු...
මා ඇයට අනවශ්‍ය යෝජනා කරමින් කෙටි පණිවුඩ යවන බවට රාවයක් පැතිරෙන්නට විය. අහිංසක කෙල්ලක් වූ ඇය පවසනා දෙය සැමදෙනාම විශ්වාස කළහ.
මා පත් වූයේ ඉමහත් අපහසුතාවකටය. කොටින්ම මගේ ළඟම මිතුරියන් පවා මා අවිශ්වාස කොට පිළිකුල් කරන තරම් තත්ත්වය දරුණු විය...
නොකළ වරදකට සැවොම සැක කරද්දී මට සියල්ල එපා විය. පසුදින උදෑසන දේශන යාමට පිටත්වූ මට, ඒ සඳහා මානසිකත්වයක් නොවූයෙන් නොදන්වාම ගෙදර යාමට හදිසියේ තීරණය කළෙමි.
මා නිවසට පැමිණෙනු දුටු අම්මා පුදුම වූවාය.ඇය කිව්වේ මෙහෙම කතාවකි!
"පුදුම වැඩේනේ පුතා. මා දැක්කනේ ඊයෙ හීනෙන් ඔයා අද මේ විදියටම මේ ෂර්ට් එකම ඇඳගෙන, මේ විදියටම මේ බෑග් එක එල්ලගෙන 'කැම්පස් එකේ මට නිවරැද්දේ ප්‍රශ්නයක් දාලා' කියාගෙන එනවා".
ඒ කතාව ඇසූ මට දහසක් දේ සිතුණි. මේ ගැන හාංකවිස්සියක්වත් ඇයට නොකී බව මට හොඳටම විශ්වාසය. කිලෝමීටර දෙසිය විසිපහක් ඈතින් සිටි ඇයට මේ දේවල් දැනුණේ කෙසේද?
මීට පසු මම තවත් දෙයක් නිරීක්ෂණය කළෙමි. එනම් තාත්තා ගැන නරක සිහිනයක් දුටු හැම දිනම ඔහු දැඩි සිත් තැවුලෙන් සිටි බවයි. (කලාකරුවකු වූ ඔහුට නිතර ගෝල තරුණ නිළි ගැහැණු ළමයින් සමඟ වැඩ කිරීමට සිදුවේ. මෙවැනි අවස්ථාවලදී අභූත චෝදනා නැගීම ඔහුගේ ප්‍රතිවාදීන්ගේ සිරිතකි.) ඔහු හා මා අතර පවතින්නේ දැඩි අධ්‍යාත්මික බැඳීමකි. එය කුඩා කළ සිට පැවත එන මිත්‍රත්වයක් වැනි හැඟීමකි.
හීන තුළ (සෑම එකකම නොවේ.) අපි සිතනවාට වඩා ගැඹුරක් අන්තර්ගතව ඇති බව මා පිළිගත්තේ එම සිදුවීමෙන් පසුවය. (මා තුළ ජොතිෂ්‍යය වැනි ගුප්ත විද්‍යා ගැන ඇත්තේ ඇල් මැරුණු කුතුහලයකි.)
තවත් යමක් මතක්වී මට දවල් තරු පෙනුණි.
මලලසේකර! ඒ කියන්නේ ගෙදරට නොකී අනෙක් දේවලුත් අම්මට පේනවද..?
Subscribe to:
Post Comments (Atom)
මාත් ඔය සිද්දි පිළිගන්නවා.අපේ ආධ්‍යාත්මික බලවේග ඇත්ත.හීන තමා හොදම සාක්ෂිය..
ReplyDeleteඑහෙනම් පරිස්සමෙන්
ReplyDeleteමට බයවෙන්න දෙයක් නෑ උඹට තරම් මොකද මම උඹ තරම් හොර වැඩ කරන්නෙ නෑනෙ
Deleteහ්ම්ම් මනස කියන්නේ අපිට කවදාවත් තේරුම් ගන්න බැරි තරම් සංකීර්ණ දෙයක්.
ReplyDeleteඑක දවසක් උදේ පාන්දර මම වැඩක් කරන්න මෙසේ ළඟ ඉඳගත්තා විතරයි හිතට එක පාරටම බයක් හිතුනා අපේ තාත්තා නැති වුනොත් මොනවා වේවිද කියලා. ඊට තප්පර දෙක තුනකට පස්සේ පාරේ වාහනයක් බ්රේක් ගහන සද්දෙත්, හැප්පෙන සද්දෙත් ඇහුනා.
තාත්තා වාහනේ පාරට දානකොටම වෙන වාහනයක් ඇවිත් හැප්පිලා. කාටවත් කරදරයක් නැහැ. එත් හිතේ ඇති වුණ බය නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.
සැබෑ අාදරය හා හිතවත් කම අැති තැන, එකිනෙකාගේ සිත් අතර අභෞතික අන්තර්සම්බන්ධතා ශක්තිමත් වෙනවා (ඒ කියන්නෙ, එහෙම විශේෂ හිතවත්කම් නැතත් ඒ බැඳිම දුර්වල මට්ටමක හෝ පවතින බවයි)
ReplyDeleteඒ විදියට තියෙන බැඳිම නිසා තමයි අපි එකිනෙකා ගැන, ඔවුන් සිතන පතන දේ ගැන, ඔවුනට සිද වන/ සිදු වන්නට යන දේ ගැන අපිට දැනෙන්නෙ!! ගොඩක් සමීප අය ගැන දැනෙනවා බැඳිම ශක්තිමත් නිසා. එ නමුත් අනෙක් අය ගැන දැනෙන්නෙ ඉතාම අඩුවෙන්. ඒ නිසා හඳුනාගන්න බෑ.
(මගෙ අදහස පමණි. තහවුරු කර ගන්නට කරුණු නොසෙවීමි)