Thursday, August 30, 2012

තාත්තා - ඌන පූර්ණය

මට එල්ල වී තිබූ චෝදනාව ඉතා බරපතල එකකි. ගමේ ප්‍රභූවරයෙකුගේ නිවසක් වන 'වැවේ ගෙදර' ඉපැරණි රේඩියෝ යන්ත්‍රය කඩා දැමීම චෝදනාව විය.

ඒ වන විට අප වාසය කළේ මගේ අම්මාගේ මහගෙදරයි. අම්මාගේ වැඩිමල් සොයුරියන්ගේ පවුල් කිහිපයක්ම මෙහි වාසය කළ නිසා මගේ පියා මෙහි 'ගෘහ මූලිකයා' නොවීය. ඉතින්, මේ අසරණ මා දඬුකඳේ ගැසිය යුතුබව එක් අයෙක් හැර අන් සියල්ලෝම ඒකමතික එකඟතාවකට පැමිණ සිටියහ. ඒ එක් අයනම් මගේ ආදරණීය තාත්තාය. 'මගේ කොල්ලාට අත නොතියනු' යනුවෙන් ඔහු සිංහයෙකු මෙන් ගේම (මහගෙදර නොව) ඉල්ලීය. 

මේ වනවට මගේ වයස යන්තම් අවුරුදු 5ක් වුවද, සංසාර පුරුද්දකටදෝ මා ඉලෙක්ට්‍රොනික විද්‍යාව හා යාන්ත්‍රික පද්ධති ගැන උන්මාදයකින් සිටි බව ඔහු දැන සිටියේය.

ගලවා වෙන් කිරීමට නොතේරෙන නිසා බිම ගසා දෙපළු කර, වයින් තබන සෙල්ලම් බඩුවල යාන්ත්‍රණ මා මහත් කුතුහලයෙන් යුතුව තේරුම් ගන්නට උත්සාහ කරනු ඔහු දැක ඇත. වරක් උපන් දිනයකට බාප්පා ගෙනා වයින් කරන මෝටර් සයිකලයේ ආයු කාලය මිනිත්තු කිහිපයකට සීමාවීම ගැන ඔහු සිටියේ කලකිරීමෙන් නොව, ආඩම්බරයෙන් බව ඔහු අන් අයට පවසනු ඇසින. මා එලෙස කරන්නේ විනාශකාරී හැඟීමෙන් නොව, සංසිද්දීන් තේරුම් ගැනීමට බව, ඔහු ඒ බව නොපිළිගෙන මට අප්‍රසාදයෙන් "මූ නම් කවදහරි මහ පෝරිසාදයෙන් වෙනවා" කියමින් අවලාද නැගූ 'වැඩිහිටියන්ට' තේරුම් කර දීමට අසාර්ථක උත්සාහයක යෙදුනේය. (අවාසනාවකි, එසේ ඔහුට එකඟ නොවී සෙල්ලම් බඩු කඩන දරුවන්ට දඬුවම් කළ දැනමුත්තන්ගේ දරුවන් අද මේසන් වරුන්ය, පෝරිසාදයෙක් වනු ඇතැයි අනාවැකි පළකළ මා අද ඉංජිනේරු විද්‍යාවන් පිළිබඳ රටේ කීර්තිමත්ම විශ්වවිද්‍යාලයේ රොබෝ ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පර්යේෂකයෙකි. - එම වෙළද දැන්වීම ඔබ වෙත ගෙන ආවේ ****** අනුග්‍රහයෙනි.) 

කලාකරුවකු වූ ඔහු මා කිසිදින ඔහුගේ කලා කටයුතුවලට සම්බන්ධකර නොගන්නා ලදී.

සතියකට වරක්වත් මවිසින් සැලසුම් කරන ලද විද්‍යුත් පරිපථයක් අත් හදා බැලීම මා 9 වසරේ සිටම කළ දෙයකි. මීට කිසිදු මැසිවිල්ලකින් තොරව බරපැන දැරූ ඔහු ඇතැම් දිනක ඊට වියදම් කළේ පසුම්බියේ වූ අවසන් රුපියල් විස්ස බව අවංකව සහ සක්සුදක් සේ දනිමි.

සිය පුත්‍රයා උසස් පෙළට හදාරන විෂයයන් 3 වෙන් වශයෙන් කීමට නොහැකි වූ එකම තාත්තා ඔහුදැයි නොදනිමි. මගේ අභිමතය වෙනුවෙන් ඔහු දුන් නිදහස සහ මා වෙනුවෙන් ඔහු තැබූ විශ්වාසය එපමණ විය. ('හැඳි නොගා හැදූ කිරිහොද්දක් වූ' මා එය කඩ නොකිරීම ගැන මා අද සතුටු වෙමි.)

තාත්තාගේ නියම ස්වරූපය පෙනෙන්නේ තමනුත් තාත්තා කෙනෙකු වූ දාටයයි කියමනක් තිබේ. මට සමහරවිට කිසිදා පියෙකු වීමට නොහැකි වනු ඇත. වුනත් ඔබවන් පියකු වීමට නොහැකිවනු අත. මා එතරම් ඉවසීම, උපෙක්ෂාව ආදී දේවගති ප්‍රගුණකර නොමැති නිසාවෙනි.
මගේ ආයුෂත් ගෙන ඔබ නිදුකින් වැජඹේවා..!
ඔබ වැනි පියෙකු මේ සසර සෙවීම දුෂ්කරය. එහෙත් යළිදු ඔබම ලබන්නට පින්කරමි.

7 comments:

  1. හරිම සංවේදී කතා ගොන්නක්. ඔක්කොම එක හුස්මට කියෙව්වා. ඔබට ස්තූතියි මේ කතා පෙළගැස්මට... දිගටම ලියන්න.ජීවිතේ ගැන නොයෙක් පැති වලින් දකින්න හැකි මෙච්චර සාර්ථක ලියමන් වැඩිය කියවන්න ලැබෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝදරයා (හෝ සහෝදරිය )

      Delete
  2. "ඔබ වැනි පියෙකු මේ සසර සෙවීම දුෂ්කරය. එහෙත් යළිදු ඔබම ලබන්නට පින්කරමි."

    මගේ කොල්ලා කවද හරි දවසක මට මෙහෙම කිව්වොත් මට ඉන් පස්සේ දාට මළත් කමක් නෑ . . .

    උඹේ තත්තාට දීර්ඝායු පතමි . .

    ReplyDelete
  3. හරිම සංවේදීයි.

    තාත්තගෙ හීන කඩ නොකර ඒ හීන හැබැහින් දකින්න ඉඩක් හදල දුන්න ඔයා දිහා බලල තාත්ත කොච්චර සතුටු වෙන්න අතිද....

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. මචං... පට්ට ලිපිය...

      Delete
  5. මුල සිට අගටම ඉතාමත් ආවෙන් කියවපු ලිපියක්...
    තාත්තාට දීර්ඝායුෂ පතමි....

    ReplyDelete